ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භ උත්සවය අද

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භ උත්සවය අද

by Staff writer 23-07-2021 | 11:50 AM

COLOMBO (NEWS1ST) : විශ්වයේ අසිරිමත් ක්‍රීඩා මංගල්‍යයේ 32 වැනි අදියරේ සමාරම්භක උත්සවය ජපානයේදී අද පැවැත්වේ.

2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසර දක්වා කල් දැමීමට සිදු වූයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් දමා වෙනත් වසරකදී පවත්වන පළමු අවස්ථාව මෙයයි. 1964 වසරේදීද ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙලට සත්කාරත්වය සැපයී ය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍යාරාක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පවත්වන මෙවර ක්‍රීඩා උළෙලට රටවල් 200කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික පිරිසක් එක් වීමට නියමිතයි. ඉසව් 339කින් සමන්විත ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග කිහිපයක් මීට දින දෙකකට පෙර ආරම්භ වූ අතර, ත්‍රී බයි ත්‍රී පැසි පන්දු, බේස්බෝල් වැනි නව ක්‍රීඩා ඉසව් කිහිපයක් ද මෙවර හඳුන්වා දී තිබේ. 32 වැනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9 දෙනෙක් සහභාගී වී සිටිති. ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ජපානයේ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.