ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික අඥාපති මන්නාරම් බොක්ක හෙලිකොප්ටරයකින් නිරීක්ෂණය කරයි

by Staff writer 23-07-2021 | 9:49 PM

COLOMBO (News 1st) - ඉන්දීය නාවික හමුදාවේ වයිස් අද්මිරාල් නැගෙනහිර නාවික අඥාපති ඒ.බී. සිං හෙලිකොප්ටරයකින් මන්නාරම් බොක්ක සහ දූපත් නිරීක්ෂණය කර තිබේ.

ඒ, ඉන්දීය - බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද අභ්‍යාස දියත්වෙමින් පවතින පසුබිමක් තුළදිය. තමිල්නාඩුවේ රාමේශ්වරම් ප්‍රදේශයට ඊයේ පැමිණි ඒ.බී. සිං වයිස් අද්මිරාල්වරයා කුන්දුකාල් ධීවර වරායේ නවතා තිබූ ඉන්දීය නාවික හමුදාවට අයත් අතිනවීන නාවික මුර යාත්‍රා දෙකක් නිරීක්ෂණය කළේ ය. මන්නාරම ටේරානි ආශ්‍රිත මුහුදු තීරය හරහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගංජා, මුහුදු කූඩැල්ලන්, මුහුදු අශ්වයින්, කහ ඇතුළු ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ජාවාරම් කිරීම හා ශ්‍රී ලංකාවේ සිට සිදුවන නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම මෙම යාත්‍රා යෙදවීමේ අරමුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අනතුරුව හෙලිකොප්ටරයකින් මන්නාරම බොක්ක ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිත දූපත් වයිස් අද්මිරාල් ඒ.බී. සිං නිරීක්ෂණය කර තිබේ. ශ්‍රී ලංකාව භූ දේශපාලනයේ වැදගත් මර්මස්ථානයක පිහිටීම හේතුවෙන් මේ වනවිට බලවත් රාජ්‍යවල උකුසු ඇසට අපගේ මුහුද හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා යොමු වී තිබේ. චීන මැදිහත්වීම් මෙම කලාපයේ වර්ධනය වෙද්දී ඉන්දියාවත් අමෙරිකාව මෙන්ම බටහිර රටවල් ද මේ කලාපයේ සිය ක්‍රියාකාරකම් වර්ධනය කරමින් තිබෙන ආකාරයක් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි. එහි ආසන්නතම සිදුවීම ලෙස ඉන්දීය නාවික හමුදාව සමග එක්ව බ්‍රිතාන්‍ය නාවික හමුදාව ඒකාබද්ධ නාවික යුද්ධ අභ්‍යාසයක නිරත විය. බ්‍රිතාන්‍ය සතු විශාලතම ප්‍රහාරක තුවන් යානා ගෙනයාහැකි යුද නෞකාව වන ක්වීන් එළිසබත් නෞකාව ද මෙම අභ්‍යාසයට එක්ව සිටීම තුළ යුද අභ්‍යාසයේ ප්‍රබල බව පැහැදිලි වේ. සංකීර්ණ අභ්‍යාස රාශියක් ඇතුළත් මෙගා නාවික අභ්‍යාසය පැවැත්වුණු අතර එය තීරණාත්මක මුහුදු මංතීරුවල හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ ය. ඉන්දීය නාවික හමුදාව පැවසුවේ, ජුලි 21 සහ 22 යන දිනවල සිදු කළ හමුදා අභ්‍යාසය නාවික හමුදාවන් දෙකේම ඉන්දීය සමුද්‍රීය කලාපය තුළ එකට ක්‍රියාත්මක වීමේ හැකියාව වැඩි දියුණු කිරීමට නිර්මාණය කළ එකක් බවයි. එක්සත් රාජධානියේ ක්වීන් එළිසබෙත් ගුවන් යානා ප්‍රවාහක නෞකාව ඉන්දියානු සාගර කලාපයේ යොදවා ඇත්තේ රටවල් 40 ක සංචාරයේ කොටසක් ලෙසය. මෙම යුද අභ්‍යාසයට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නවතම ගුවන් යානා ප්‍රවාහක නෞකාව වන එච්.එම්.එස්. ක්වීන් එලිසබෙත් නෞකාවට අමතරව යාත්‍රා 23කට අමතරව ඇස්ටියුට් පන්තියේ සබ්මැරීනයක් ද ඇතුළත් වුණි. ඉන්දියානු නාවික හමුදාව නියෝජනය කළේ, සට්පුර, රන්වීර්, ජෝති, කවරට්ටි, කුලිෂ් යන යුද නෞකා සහ සබ්මැරීනයකි. මෙම අභ්‍යාසය සඳහා සබ්මැරීන් නාශක හා දිගු දුර මුහුදු යාත්‍රා නිරීක්ෂණ ගුවන් යානා සමූහයක් ද යොදවා තිබුණි. ප්‍රහාරක නෞකා කණ්ඩායමක් යනු ගුවන් යානා ප්‍රවාහක නෞකාවකින් සමන්විත මෙගා නාවික බලඇණියක් වන අතර ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකා ඇතුළු පරිවාර නෞකා රැසකින් මෙය සමන්විත වේ. ඉන්දීය නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් විවේක් මාධ්වාල් පවසා තිබුණේ “මෙම අභ්‍යාසය මගින් සබ්මැරීන් නාශක, ගුවන් යනා නාශක සහ ගොඩබිම් ඉලක්ක විනාශ කිරීම වැනි නාවික මෙහෙයුම්වල නියැලීමට කදිම අවස්ථාවක් ලබා දී ඇති බවයි. නාවික අභ්‍යාසයට එෆ් -35 බී නවීනතම ප්‍රහාරක ජෙට් යානා යොදා ගෙන ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය.