අලි - මිනිස් ගැටුම ගැන කෝපා කමිටුව කියූ දේ..

අලි - මිනිස් ගැටුම වැළැක්වීමට මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ග වෙනස් කළ යුතුයි - කෝපා කමිටුවෙන් නිර්දේශ

by Staff writer 23-07-2021 | 5:26 PM

COLOMBO (NEWS1ST) : අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා මේ වනතෙක් අනුගමනය කර ඇති ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී පසුගිය දා අනාවරණය වුණේ, අලි - මිනිස් ගැටුම හේතුවෙන්, ලොව වැඩිම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාව බවය. එමෙන්ම මේ හේතුවෙන්, මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැනට පත්ව ඇති බවත් එහි දී අනාවරණය විය. ඒ හේතුවෙන්, අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කෝපා කමිටුව අවධාරණය කළේ ය. මෙතෙක් අසාර්ථක වී ඇති පැරණි ප්‍රතිපත්ති අත්හැර දමා ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් සකස් කර ඇති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස වනජීවි සරක්ෂණ ‍දෙපාර්තමේන්තුවට කෝපා කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව මාස දෙකක් ඇතුළත අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව කාරක සභාවට දැනුම් දෙන්නැයි කෝපා කමිටුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේ ය.