මියගිය සහ ICUවල සිටින ආසාදිතයින්ගෙන් අතිබහුතරයක් එන්නත් ලබා නොගත් අය.. -සෞඛ්‍ය අමාත්‍යවරිය 

by Staff writer 22-07-2021 | 10:02 PM

COLOMBO (News 1st) - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගෙවුණු සතිය තුළ දිනපතා නිකුත් කළ නිවේදනවල කොරෝනා මරණ සංඛ්‍යාව 40 ඉක්මවා සටහන් වී තිබුණි.

ඇතැම් අවස්ථාවල සඳහන් වූයේ, ආසන්න දින කිහිපයක සිදු වූ මරණ එම නිවේදනවලට ඇතුළත් කරන බවය. ජූලි 15 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක් වූ කොරෝනා මරණ සංඛ්‍යාව - 50 ජූලි 16 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක් වූ කොරෝනා මරණ සංඛ්‍යාව - 41 ජූලි 17 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක් වූ කොරෝනා මරණ සංඛ්‍යාව - 31 ජූලි 18 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක්වූ කොරෝනා මරණ සංඛ්‍යාව - 46 ජූලි 19 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක්වූ කොරෝනා මරණ සංඛ්‍යාව - 48 ජූලි 20 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක්වූ කොරෝනා මරණ සංඛ්‍යාව - 43 ජූලි 21 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක්වූ කොරෝනා මරණ සංඛ්‍යාව - 47 මේ අතර කොවිඩ් ආසාදනයෙන් මිය ගිය හා දැඩි සත්කාර ඒකකවල රෝගීන්ගෙන් බහුතරයක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරිය අද ප්‍රකාශ කළා ය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,
කොවිඩ් 19 රෝගයෙන් මියගිය පුද්ගලයින් සහ දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන රෝගින් සලකා බලන විට එයින් අති බහුතරයක් මේ එන්නත් ලබානොගත් අය විශේෂයෙන් අවුරුදු 60ට වැඩි විවිධ සංකූලතා තියෙන අයගෙන් ඉල්ලා සිටිනවා රජය විසින් ලබාදෙන මේ එන්නත් වහාම එන්නත්කරණ මධ්‍යස්ථානවලට ඇවිල්ලා ලබා ගන්න කියලා මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම
මේ අතර අදත් චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් දිවයිනට රැගෙනවිත් තිබේ. අදාළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකෙන් මිලියනයක් (ලක්ෂ 10) මේ වනවිටත් තැන්පත් කර ඇත්තේ මධ්‍යම එන්නත් ගබඩාවේය. සෙසු එන්නත් තොගය වැලිසර පිහිටි එන්නත් ගබඩාවටත් යොමු කර ඇත.

අද දිවයිනට ගෙනා එන්නත් ලැබෙන්නේ කාට ද?

අද දිවයිනට ගෙනා එන්නත් තොගයෙන් පළමු මාත්‍රාව ලෙස වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබා දීමට නියමිතව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටයි. එම ප්‍රමාණය ලක්ෂ 4කි. මේ අතර US Aid හරහා රුපියල් මිලියන 300ක වටිනාකමින් යුත් කොරෝනා පරීක්ෂණ කට්ටල ලක්ෂ 5ක්  ආධාරයක් ලෙස ලබා දුන් බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළේ ය. ලැබෙන එන්නත් උපරිම ප්‍රයෝජනයට ගැනීමට ජනතාව ද සහය නොදුනහොත් ඉදිරි ඩෙල්ටා අවදානම භයානයක විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය බී. ජේ. සී. පෙරේරා මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති,විශේෂඥ වෛද්‍ය බී. ජේ. සී. පෙරේරා මහතා,
අපේ අමාත්‍යාංශයෙන් කියලා තියෙනවා අපි හිටින්නේ දැනට තුන්වෙනි රැල්ලේ අවසානයේ. දැන් මේ 4 වෙනි රැල්ලේ ලොකුම ප්‍රශ්නය ඩෙල්ටා වේරියන්ට්  එක. මේකේ මේ 4 වැනි රැල්ල ආවොත් අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම හුඟාක් අවස්ථාවලදී අවශ්‍යය අවස්ථාවකට නොවන අවස්ථාවලදී අපේ ගෙදර ඉන්න එක තමයි ඉතාමත්ම සතුටු දායක වැඩේ අපිට කරන්න පුළුවන්මේක වළක්වා ගන්න. මේක අපේ මහජනතාවගේම අයිති යුතුකමක්.

ඩෙල්ටා අභියෝගයට මුහුණ දිය යුත්තේ කෙසේ ද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා,
මේ වෙලාවේ අහඹු නියැදි පරීක්ෂාව ඉතාමත් සීඝ්‍රයෙන් කරලා ඒ අවශ්‍ය ප්‍රදේශ හඳුනා ගෙන ඒ ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දුන්නොත් නම් ජනතාව ආරක්ෂා කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක පාර ඉන්දියාවේ වගේ පළාත්වල ඩෙල්ටා ව්‍යාප්ත වෙන්න ගත්තොත් අපිට සිදුවෙන සිදු අමුතුවෙන් කියන්න ඕන නැහැ . ලෝක සංවිධානය කියලා තියෙනවා මේ වෙද්දී රටවල් සංචරණ සීමා ලිහිල්කරන්න හදිස්සි වෙන්න එපා කියලා.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතියේ සමාලෝචන රැස්වීමේදී ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ගැන දැඩි අවධානය යොමු විය. පසුගිය සතියේදී ලොව පුරා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන සියයට 12කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඉන් බහුතරයක් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැළඳුණු පිරිස් ය. වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසයේදී ලෝකය පුරා පැතිරීමේ අවදානමක් පවතී තවත් සති 3ක් ගතවීමට පෙර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 20 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වඩාත් වේගයෙන් පැතිරයන නව කොවිඩ් ප්‍රභේද, කොවිඩ් පාලන සීමා ලිහිල් කිරීම, මිනිසුන් එකිනෙකා මිශ්‍රවීම සහ එන්නත් ලබානොගත් පිරිස තවමත් ඉහළ අගයක් ගැනීම එම අවදානමට හේතුවී ඇති බව වාර්තා වේ.