එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක්ද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිසර හානිය දිගටම: තෙල් කාන්දුවක් සිදුවන බවටත් සැකයක්?

by Staff writer 22-07-2021 | 9:34 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වෙමින් ඇතැයි පරිසරවේදීන් අද(22) අනාවරණයක් කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම අනාවරණය කළේ, ඊට අදාළ දර්ශන ද මාධ්‍යයට ඉදිරිපත් කරමිනි. පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා,
නැව ගිලීමත් එක්කලා ස්ටාර් නිව්ස් මට මතක විදියට වීඩියෝවක් තිබුණා, නැවෙන් තෙල් පිට වෙනවා කියලා. නමුත් අපේ රජය කියුවා තෙල් පිටවීමක් නෑ පොඩි කාන්දුවක් තියෙනවා ඒක සැලකිය යුතු කාරයක් නෙවේ කියලා. ඉතා බරපතල කාරණයක් විදියට තෙල් පිටවීම තිබෙනවා. මේක පිළිබඳව අපේ අය තාමත් නිසි ආකාරයට මෙය විසඳන්න කටයුතු කරලා නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ තෙල් පිට වෙන්නේ එන්ජිමට භාවිත කරන තෙල් ටැංකි වලින්. ඒක වහන්න මෙච්චර මුහුද නිසලව තිබිච්ච දවස් දෙක තුනක් තිබුණත්, ඒක වහන්න කටයුතු කරේ නැ තවමත්. ඒක කරානම් තෙල් ලීක් එක නතර කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ ඒ නිසා මුදල් වියදම් කරන්නේ නැත්නම් අපේ මහ මුහුද දිගින් දිගටම මේක නිසා දූෂණය වේවි.
බලධාරීන් නැව ගිනිගත් අවස්ථාවේ පැවසුවේ, එහි බැර ඉන්ධන ටොන් 297 ක පමණ ප්‍රමාණයක් ඇති බවයි. තෙල් කාන්දුවක් සිදු වුවහොත් පිළියම් යෙදීමට සූදානම් බව ද ඔවුන් පැවසූහ. කෙසේවෙතත් අද විෂය භාර රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතාගෙන් අප අද කළ විමසීමකදී පැවසුවේ, මුහුදේ සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදුවන බවය. තෙල් කාන්දුවක් සිදුවන බවට නැගෙන චෝදනාව ඔහු තහවුරු කළේ නැත. පරිසරවේදී සජීව චාමිකර මහතා,
මේ කැස්බෑ විශේෂ දැනට නිදර්ශක විදියට හම්බෙලා තියෙනවා 275 ක් පමණ වෙරළට ගහගෙන ඇවිල්ලා තියෙනවා මිය ගිය සතුන්. මෙතැන්දි පර්යේෂණයට ලක්වෙලා බැලුවාම පේනවා රසායන ද්‍රව්‍ය සහ තෙල්වලට විවෘත වීමේ ප්‍රතිඵල විදියට තමයි මේ සතුන් මිය ගිහින් තියෙන්නේ. වරාය සහ පෝට් සිටි ඉදිකිරීම් නිසා දකුණු කලාපයේ ඉඳලා උතුරු කලාපයට විහිදෙන දියවැල්වලට බාධක කලාපයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා සිදු වන ගැටලුකාරී තත්ත්වය තමයි මේ නැවෙන් කාන්දු වන තෙල් සහ රසායන ද්‍රව්‍ය වැඩි කාලයක් රැඳීලා තියෙනවා. ඒකත් එක්ක බැඳිලා තියෙන ජෛව ප්‍රජාව සීඝ්‍ර බිඳවැටීමකට ලක් වෙනවා. මේකේ සම්පූර්ණ වගකීම අපි විතරක් භාර අරගෙන අපිට විතරක් කරන්න බෑ, අපිට ඒකට අවශ්‍ය තාක්ෂණය නෑ මුදල් නෑ කියලා මේක අතෑරලා දාන්න බෑ.
මේ නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදුවන්නේ නම් යොදන පිළියම් මොනවා ද? ඒ සඳහා ඇති සූදානම කුමක් ද? සිදුව ඇති විනාශයට යෝජනා කරන වන්දිය කෝ?