එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට..

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට..

by Staff writer 21-07-2021 | 6:00 AM

COLOMBO (News 1st): තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනිමට ඉන්දියාව සමත් විය.

ඒ ඊයේ(20) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජය ගැනීමත් සමගිනි. ඒ අනුව තරග 2-0ක් ලෙස තරගාවලිය ජයගෙන ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටී. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක ලකුණු 77ක සබඳතාවක් ගොඩනැගුවේය. අවිශ්ක ප්‍රනාන්දු සිව්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය. ධනංජය ද සිල්වා ලකුණු 32ක් ලබා ගත්තේය. නායක දසුන් ශානක ලකුණු 16යි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක ලකුණු 65ක් රැස් කළේය. ඊට හතරේ පහර 6ක් ද ඇතුළත් විය. චාමික කරුණාරත්න පන්දු 33කින් හතරේ පහර 5ක් ද සමගින් නොදැවී ලකුණු 44ක් රැස් කළේය. බුවනේෂ්වර් කුමාර් සහ යුස්වෙන්ද්‍ර චහල් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කළේය. ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නායක ශිකර් ධවාන් සහ ප්‍රිත්වි ෂෝ. පළමු කඩුල්ල ලෙස ප්‍රිත්වි ෂෝ ලකුණු 13කට දැවී ගියේය. ඉශාන් කිෂාන්ට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. නායක ශිකර් ධවාන් ලකුණු 29කට දැවී ගියේය. මනීෂ් පාන්ඩේ ලකුණු 37ක් රැස් කළ අතර හර්ඩික් පාන්ඩ්‍යාට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. සූර්යකුමාර් යාදෙව් ලකුණු 53ක් රැස් කළේය. ඉන්දීය ඉනිමේ කඩුලු 07ක් ලකුණු 193කදී බිඳ වැටුණි. නමුත් ඩීපක් චාහර් සහ බුවනේෂ්වර් කුමාර් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඒ අනුව ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 49යි පන්දු 1ක් අවසානයේදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 277ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය. වනිඳු හසරංග කඩුලු 03ක් දවා ගත්තේය.