ගෑස් හිඟ වෙයි ද?

ගෑස් හිඟ වෙයි ද?

by Staff writer 21-07-2021 | 9:24 PM

COLOMBO (News 1st) - වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් ඇතැයි පාරිභෝගියකයින් පවසති.

ලිට්රෝ ගෑස් සමාගම ඊයේ නිවේදනය කළේ, ඕනෑම වර්ණයක සිලින්ඩරවලට ගෑස් ලබා දීමට තමන් පියවර ගෙන ඇති බවයි. මෙරට ගැස් වෙළෙඳපොළට සියයට 30 ක පමණ දායකත්වයක් සැපයූ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය කිරීම නතර කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ ගෑස් අර්බුදයක් මතු වෙමින් පවතී. ලෝක වෙළෙඳපොළ මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් මෙරට ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් පසුගිය දිනවල දිගින් දිගටම ඉල්ලීම් කළේ ය. නමුත් අදාළ සමාගම් විසින් යෝජනා කළ මිල වැඩි කිරීම සිදු නොවූ පසුබිමක ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය කිරීම නතර කිරීමට පියවර ගෙන තිබේ. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ලාෆ් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත් එය ආවරණය කිරීමේ හැකියාව තම සමාගම සතුව ඇති බවය. මේ අතර ගෑස් මිල වැඩි කිරීමේ සමාගම් ඉල්ලීම හමුවේ කැබිනට් මණ්ඩලය ජුනි 21 වැනි දා තීරණය කළේ, ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සමාගම දෙක විසින් ඒකාබද්ධව සිදු කළ යුතු බවයි. ගෑස් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සමාගම් දෙකේ නියෝජිතයින් ද ඇතුළත් විශේෂ කමිටුවකට පැවරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය. වෙළෙඳ අමාත්‍යවරයා ඊයේ පැවසුවේ, මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී මේ වැඩපිළිවෙළ සකස් කරනු ඇති බවය. මේ පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා ද අදහස් පළ කළේය.
අද මේ වෙනකොට ගෑස් වෙළදාම් කරපු ගෑස් සමාගම් දෙකෙන් එකක් වෙළෙඳපොළෙන් ඉවත් වෙලා තියනවා. ඉදිරියේදී තෙල් ගෙන්නගන්නත් ඩොලර් නැති වෙලා තියනවා. අද මහ බැංකුවේ ඇති සියලුම ඩොලර් සංචිත එකතු කළත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නොපියවපු ඩොලර් ගෙවාගන්න බෑ. අපේ අර ජාතක පොතේ තියනවා අගාදයෙන් තන්හාවෙන් ඇද වැටෙන මිනිහා ගත දැවටෙන මේ සීත සුළං රැළි අහෝ සැපයි කීවාලු වගේ තමයි ඊයේ ගත්ත ඡන්ද 152 ක ගැන කියන්න තියෙන්නේ. මොකද ආණ්ඩුව මූල්‍ය අර්බුදයේ නැව එක්ස්ප්‍රස් පර්ල් එක වගේ ගිලෙමින් තියෙන්නේ. ඒක බොහොම පැහැදිලි වෙයි ඉදිරි මාස කිහිපය ඇතුළත. නව මුදල් ඇමති පත් වුණා, දැන් රට ස්ථාවරයි කියන්න පටන් ගත්තා, ජනාධිපතිවරයා කිව්වා නෑ මම නැවත ඉල්ලනවා රට ස්ථාවර කරන්න කියලා. පස්ස හැරිලා බලනකොට මූඩි ආයතනය, ශ්‍රේණිගත කිරීමේ ආයතනය කිව්වා ලංකාව අර පත් කරලා තියන ඉතාම අනතුරුදායක තත්ත්වය තවත් පහළට ශ්‍රේණිගත කරන්න ඔවුන් සූදානම් කියලා. ඒකෙන් පේන්නේ , ඔලු මාරු කරාට, මූණු මාරු කරාට, කට මැද දෙඩෙව්වාට, පූච්චාණං කතා කිව්වාට, ලෝකයට මේ මූල්‍ය අර්බුදය වහන්න බෑ. ධම්මික පැණිය වගේ මාධ්‍ය මායාවල් හා දෘෂ්ටි මවලා ඡන්ද දිනන්න පුළුවන් උනාට මූල්‍ය අර්බුදය නම් එහෙම දිනන්න බෑ. ඉතිහාසයේ කවදාවත් තෙල් ගෙන්නගන්න, ගෑස් ගෙන්නගන්න බැරි තත්ත්වයක් ලංකාවට උදා වෙලා නෑ. ඉදිරි කාලයේදී අපි ලංකාවට අනතුරු අඟවනවා, ගෑස් නැති වුණා වගේම තෙල් නැති වෙන්න ඉඩ තියනවා. විදුලිය නැති වෙන්න ඉඩ තියනවා. ආණ්ඩුව මේ පූච්චාණං කතා වීර කතා පවත්වන්නේ නැතුව අන්න ඒවට පැහැදිලි විසඳුම් ඉදිරිපත් කළ යුතුයි.