ලීටර්18 ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණයක්

හිඟයකින් තොරව ගෑස් සැපයීමට වැඩපිළිවෙළක්: ඕනෑම වර්ණයක සිලින්ඩරවලට ගෑස් ලබා දෙනවා - ලිට්රෝ සමාගම

by Staff writer 20-07-2021 | 9:26 PM

COLOMBO (News 1st) - වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් තරම් ගෑස් ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම අද(20) නිවේදනය කර තිබේ.

සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසන්නේ, ඕනෑම වර්ණයකින් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීමට ලිට්රෝ සමාගම පියවර ගෙන ඇති බවය. ලෝක වෙළෙඳපොළ මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් මෙරට ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් පසුගිය දිනවල දිගින් දිගටම ඉල්ලීම් කළේ ය. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ලාෆ් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත් එය ආවරණය කිරීමේ හැකියාව තම සමාගම සතුව ඇති බවය. ඒ අනුව ඔවුන් ඕනෑම වර්ණයක ගෑස් සිලින්ඩරයකට ගෑස් සැපයීමට තීරණය කර ඇති අතර අමතර ධාරිතාවය ගෙන්වා ගැනීමට හැකියාව ඇති බව පවසයි. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
රුපියල් 751 කින් තමයි මිල වැඩිවීම ඉල්ලලා තිබුණේ, ඒ වගේ මිල වැඩි වීමක් මේ කොවිඩ් 19 හමුවේ රටේ ජනතාවට දරාගත නොහැකි නිසා අතිගරු ජනාධිපතිතුමා කිව්වා මෙය සම්පූර්ණයෙන් රජය දරා ගැනීමට කටයුතු කරනවා මිසක් ගෑස් මිල වැඩිවීම පාරිභෝගික ජනතාවට කරන්න දෙන්න බෑ කියලා. මුදල් ආමාත්‍යාංශයේ විශේෂ කමිටුවක් මේ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පත් කරලා තියෙනවා. ඒක මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරි කාලයේදී බලයි කොහොමද මේ තත්ත්වය පවත්වාගෙන යන්නෙ කියලා. ගෑස් හිඟයක් ඇති නොවන ආකාරයට රජයේ ගෑස් සමාගම් කටයුතු කරයි. වෙළෙඳපොළේ සියයට 30 ක පමණ කොටසක් ලාෆ් සමාගම කරනවා. මේ පවතින තත්ත්වය තුළ ආනනය කළ නොහැකි වෙනවා නම් එතනදී රජය මැදිහත් වෙලා කරයි. එතනදී මුදල් ආමාත්‍යාංශය විසින් වෙනම කළමනාකරණ කමිටුවක් විසින් තමයි ඒ තීන්දු තීරණ ගන්නවා ඇත්තේ. හිඟය ඇති නොවන බවට රජය ලිට්රෝ ගෑස් සමාගම ඒ වගකීම භාර අරන්නේ තියෙන්නේ. ඒක නිසා තමයි ඒ සමාගම් දෙකේම ක්‍රියාවලීන් ඇති කරලා කටයුතු කරන්න යම් කිසි වැඩපිළිවෙළක් මුදල් අමාත්‍යංශය විසින් සකස් කරන්නේ. ඒක ඒය තමයි භාර අරන් තියෙන්නේ අපි නෙවෙයි. එතකොට ගෑස් හිඟයක් ඇති නොවෙන්න කටයුතු යොදයි රජය.
මේ අතර ලීටර් 18ක ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
අමාත්‍ය මණ්ඩලය විශේෂ අනුමැතියක් ලබා ගත්තා විශේෂයෙන්ම ලීටර් 18 ගෑස් සිලින්ඩරය ලීටර් 18 විදිහට අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු බවත්, ඒ ලීටර් 18 ගෑස් සිලින්ඩරය අලෙවි කරනවා නම් එය අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල 1,150ක් ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තේ. එතකෙට කිලෝග්‍රෑම් 12 හමාරක ගෑස් සිලින්ඩරය වෙළඳපළේ තියෙනවා 1495 මිලට. ලීටර් 18 ගැස් සිලින්ඩරයත් වෙළෙඳපොළේ තියෙනවා එකේ මිල 1150 ක් ලෙස තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කිලෝග්‍රෑම් 12 මාර ලීටර් 18 බවට පරිවර්ථනය කිරීම නිසා සැබෑ ලෙසම කිලෝග්‍රෑම් තියෙන්නේ 9.5 ප්‍රමාණයක්. ඒ 9.5 මිල තමයි 1150 විදිහට තියෙන්නෙ. ඒ නිසා පාරිභෝගිකයාට මොනම විදිහෙන්වත් අසාධරණයක් නොවෙන විදිහට තමයි මේ ක්‍රියා මාර්ගය ඊයේ ගරු අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න කටයුතු කළේ.