පෙගසස් වලින් ඔත්තු බැලීම කොයිබටද?

පෙගසස් මෘදුකාංගයෙන් ඔත්තු බැලීමට ලක් වූ පිරිසෙන් 1,000කගේ දුරකතන අංක ඉන්දියානුවන්ගේ බව හෙළිවෙයි..

by Staff writer 20-07-2021 | 10:44 PM

News 1st - පෙගසස් මෘදුකාංගය හරහා ඔත්තු බැලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද්‍රෝහි ක්‍රියාවක් කර ඇති බවට ඉන්දීය විපක්ෂය චෝදනා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව පුරා පෙගසස් මෘදුකාංගයෙන් ඔත්තු බැලීමට ලක් වූ පුද්ගලයින් පනස්දහසට ආසන්න පිරිසෙන් දහසකගේ දුරකතන අංක ඉන්දියානුවන්ගේ බවයි. ඉන්දීය විපක්ෂ දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් හා ව්‍යාපාරිකයින්ගේ දුරකතන පෙගසස් මෘදුකාංගය ඔස්සේ හැක් කර ඇතැයි චෝදනා එල්ල වේ. මෙම මෘදුකාංගය එන්.එස්.ඕ. නැමැති ඊශ්‍රායල් සමාගමක නිර්මාණයකි. වෙනත් රටක ඔත්තු බැලීමේ මෘදුකාංගයක් භාවිත කරමින් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ඇතුළු දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් ආරක්ෂක ප්‍රධානීන්, අධිකරණ නිලධාරීන් පිළිබඳ ඔත්තු බැලීම ද්‍රෝහී ක්‍රියාවක් පමණක් නොව සමාව දිය නොහැකි ජාතික ආරක්ෂාව අඩපණ කිරීමක් බව ඉන්දීය කොංග්‍රස් පක්ෂය චෝදනා කර සිටී. කෙසේවෙතත් පෙගසස් මෘදුකාංගය භාවිත කරමින් අනවසර ඔත්තු බැලීමේ ක්‍රියාවලියක නිරත වීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර පකිස්ථාන ආග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් භාවිත කළ දුරකතන අංකයකට ද පෙගසස් මෘදුකාංගය ඔස්සේ ඇතුළුවීම පිළිබඳව එට රජය විමර්ශනයක් ආරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය අනාවරණය කළේ, මෙම මෘදුකාංගය මිලදී ගෙන ජංගම දුරකත හරහා ඔත්තු බලන රටවල් අතර ඉන්දියාව, අසර්බයිජානය, බහරේන්, කසක්ස්ථාන්, මෙක්සිකෝ, මොරොක්කෝ, රුවන්ඩා, සෞදි අරාබිය, හංගේරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සිටින බවය.