මහේන්ද්‍රන් නැතිව නඩුවක් පවත්වා ගෙන යාමට අවසර..

අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් නොමැතිව එක් බැඳුම්කර නඩුවක් පවත්වා ගෙන යෑමට අධිකරණයෙන් අවසර..

by Staff writer 20-07-2021 | 6:28 PM

COLOMBO (News1st) :  හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අජාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව 2016 මහ බැංකු බැඳුම්කර වංචාවකට අදාළ එක් නඩුවක් පවත්වා ගෙන යෑමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නීතිපතිවරයාට අවසර ලබා දුන්නේ ය.

නඩුව පවරා ඇත්තේ, 2016 වසරේ පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් බිලියන 36.98 ක මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේයි. දමිත් තොටවත්ත , අර්ජුන තිලකරත්න සහ මොහොමඩ් ඉර්සදීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදි අද නඩුව කැඳවනු ලැබී ය. විත්තිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් ඇති බව හා මේ දක්වා යළිත් ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බවට තහවුරු කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මගින් සාක්ෂි කැඳවා තහවුරු කළේ ය. ඒ අනුව අදාළ විත්තිකරුවන් නොමැතිව නඩුව පවත්වා ගෙන යෑමට අවසරය ලබා දුන් විනිසුරු මඩුල්ල නියෝග කළේ, නඩුව ලබන අගෝස්තු 26 වැනිදා යළි කැඳවීමටයි. විනිසුරු මඩුල්ල විසින් 9 වැනි විත්තිකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයෙකුට අවසර ද ලබා දුන්නේ ය. මේ අතර 2016 මාර්තු මස පැවැති තවත් මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15 ක මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව පවරා තිබු අනෙක් නඩුව ද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවී ය. අමල් රණරාජා, නාමල් බලල්ලේ හා ආදිත්‍ය පටබැදිගේ යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ එම නඩුව ලබන අගෝස්තු 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.