by Staff writer 20-07-2021 | 10:00 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධූරයට අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් පත් කර තිබේ.
ඒ, අද පස්වරුවේ රැස් වූ එම නිකායේ සංඝ සභාවේ අනුමැතියෙනි.
1939 දෙසැම්බර් 20 වැනි දා මාතර දොඩම්පහල ග්‍රාමයේදී උපත ලද උන්වහන්සේ 1950 වසරේ දී මාතර, කුඩාවැල්ල වාලුකාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් විය.
මිහින්තලේ කළු දිය පොකුණ තපෝවනය, කෑගල්ල අභය භූමි තපෝවනය, පදවිය තපෝවනය, ඇතුළු භාවනා මධ්‍යයස්ථාන රැසක් බිහි කිරීමට දායක වූ උන්වහන්සේ 1989 දී අමරපුර මහානිකායේ ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක පදවියටත් 1996 දී මහානායක පදවියටත් පත් විය.
2013 දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරයෙනුත් පිදුම් ලැබූ උන්වහන්සේ අද දින උත්තරීතර මහානායක ධූරයට පත්වන්නේ ඒ අමරපුර මහා නිකායයට අයත් පාර්ශ්ව 22 මහා සංඝරත්නයේ අනුමැතියෙනි.
දෙස්, විදෙස් ධර්මදූත මෙහෙවරෙහි යෙදෙමින් සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අපරිමිත සේවාවක් සිදුකරන උත්තරීතර මහනාහිමියන් ගිහි පැවිදි උභය සමාජයේ ම ගෞරව සම්භාවනාවට පත් මහා සඟරුවනකි.