20ට සහය දුන් මුස්ලිම් මන්ත්‍රීවරු ජනපති හා අගමැති හමුවී සාකච්ඡාවක..

by Staff writer 19-07-2021 | 10:41 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පැවති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට 20 වන සංශෝධනයට සහය දැක් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද සහභාගි වී තිබේ.

රැස්වීම අවසන් වී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පිටව යන අවස්ථාවේ ඔහු සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ද සිටියේ ය. අප කළ විමසීමකදී මුස්ලිම් ජාතික සන්ධානයේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා කියා සිටියේ, උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ලබා දීමට මෙම හමුවේදී තමන් ඇතුළු පිරිස එකඟ වූ බවය. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතර තවත් හමුවක් අද(19) පවත්වා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් මහතා පැවසුවේ, තමන් සමග නසීර් අහමඩ්, මර්ජාන් ෆලීල්, ඉෂාක් රහුමාන්, අලි සබ්රි රහීම්, ඒ.එල්.එම් අතාවුල්ලා සහ මුෂාරෆ් මුදුනබීන් යන මන්ත්‍රීවරුන් මෙම සාකඡාවට සහභාගි වී ඇති බවය. අතාවුල්ලා සහ ෆලීල් යන මන්ත්‍රීවරුන් දෙදෙනා හැර සෙසු පිරිස රාවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදියුද්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන අයයි.