COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට කිලෝමීටර් 250ක් පමණ ඈතින් පිහිටි තූත්තුකුඩි නගරාසන්න වරායකට ඉන්දියානු නාවික හමුදාවේ අති නවීන සබ්මැරීනයක් ගෙන්වා තිබේ.
ඉන්දීය මාධ්‍ය විමසන්නේ, ඉන්දියානු සාගරයට සහ කලාපයට එල්ලවන චීන බලපෑම් හේතු කරගෙන මෙම සබ්මැරීනය දකුණු ඉන්දියාවට ගෙන ආව ද යන්න පිළිබඳවයි.
ඉන්දීය නාවික හමුදාවේ INS සින්දු ශ්රාස්ත්ර නැමති අති නවීන සබ්මැරීනය මුහුදේ සිට අහසටත් තවත් සබ්මැරීනත් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ඇතුළු තවත් යුද තාක්ෂණයෙන් සමන්විතය.
මෙය සතියක කාලයක් මෙලෙස දකුණු ඉන්දීය මුහුදේ නවතා ඇති බවට වාර්තා පළවේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් පෙන්වා දුන්නේ, එරට මෙහෙයුම් ක්‍රියාකාරකම් පිළිබඳව සහ ඉන්දීය නාවික හමුදාවේ මෙහෙයුම් පිළිබඳව තමන්ට අදහස් දැක්විය නොහැකි බවයි.
ඉන්දියාව විසින් සබ්මැරීන හෝ වෙනත් ජාතික සම්පත් යෙදවීම පිළිබඳව තීරණ අදාළ නිලධාරීන් විසින් මෙහෙයුම් අවශ්‍යතා වැනි විවිධ කාරණා සලකා බලමින් ඉන්දියාව හා එහි අභිලාශයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ පෙරදැරිව ගනු ලබන බව ද වැඩිදුරටත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටියේ ය.
ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කරන්නේ, කලාපයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවත් සමග සිදු කිරීමට නියමිත යුද අභ්‍යාසයකට එක්වීම සඳහා මෙම සබ්මැරීනය ස්ථාන ගතකර ඇති බවටයි.
චීනය ශ්‍රී ලංකාවේ නාවික හැකියාවන් වර්ධනය කිරීමට කටයුතු කරන පසුබිමක මෙය සිදුවන බව ද එම වාර්තා පෙන්වා දෙයි.
මෙලෙස දකුණු ඉන්දියාවේ වරායක සබ්මැරීනයක් පිළිබඳව කරුණු වාර්තා වෙද්දි දකුණු ඉන්දියාවේම නාගපට්ටිනම් හා කන්‍යාකුමාරි යා කෙරෙන නැගෙනහිර වෙරළාසන්න අධිවේගී මාර්ගයක් යුද හමුදා උපකරණ හා ප්‍රහාරක යාන ගොඩබැස්සවීමට හැකි ලෙස පුළුල් කෙරේ.
මේ වන විටත් තවත් ප්‍රදේශවල මෙලෙස ගුවන් යානා ගොඩ බැස්සවීම පිළිබඳව ඉන්දීය ගුවන් හමුදාව අභ්‍යාස කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
ඉන්දීය හමුදා ආරක්ෂාව දැඩි කරන අතර තුර ශ්‍රී ලංකාවේ කිලිනොච්චිය, කවුදාරිමුනෙයි මුහුදු තීරයේ චීන සමාගමක් විසින් සාදා ඇති නීතිවිරෝධී මුහුදු කූඩළු ගොවිපොළ පිළිබඳව දැඩි කතාබහක් ඇතිව තිබේ.
එහෙයින් තමිල්නාඩුවේ ධීවර සංගම් නායකයෙකු වන එන්.ජේ. බෝස් ප්‍රකාශ කළේ, චීනයට ලබා දෙන්නේ නම් ඉන්දියාවට ද ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීමේ අවස්ථාව දිය යුතු බවය.
රාමේෂ්වරම් වරාය බහුදින ධීවර යාත්‍රා සංගමයේ සභාපති, එන්. ජේ. බෝස් මහතා,
ලංකාවට චීන ජාතිකයින් සම්පුර්ණයෙන් ඇතුළු වුණාට පස්සේ අපි දැනට අවුරුදු 10කට කලින් කිව්වා නාවික හමුදාවේ චීන ජාතිකයින් ඉන්නවා කියලා. ඔයාලට ඒක මතකද? ඒ වෙලාවේ රජය ඒකට ඇහුන්කන් දුන්නේ නෑ. දැන් ඕක චීනෙටම භාර දුන්නා. ලංකාව චීනෙට ගියා. සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ගෙනාවොත් තමයි මෙයාලට තේරෙන්නේ. ඒකත් නෑ. චීනයට කතා කරලා වසර 99 ගිවිසුමකට දුන්නා.ලාංකිකයන් චීනයට දුන්නා. අපි එයාලට දෙන කොට එක බඩවැල කඩාගෙන ආපු ලේ ඥාතීන් කියලා කියනවා. ලංකාවේ උතුරේ දමිළ ජනතාවට පහර දෙනකොට ඒක අපිට දැනෙනවා. ලංකාවේ අය කියලා අපිට එහේ මසුන් අල්ලන්න දුන්නා නම් මොකද වෙන්නේ?