ඉන්දියාවට පහසු ජයක්..

ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදී..

by Chathuranga Rajapaksha 19-07-2021 | 7:34 AM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් ජය ගැනීමට සමත් විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 36යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් ගොඩනැගුවේය. අවිශ්ක ලකුණු 32ක් ලබා ගත්තේය. චරිත් අසලංක ලකුණු 38ක් රැස් කළේය. මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 24කට දැවී ගියේය. නායක දසුන් ශානක ලකුණු 39ක් ලබා ගත්තේය. චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර අතර ශ්‍රී ලංකා 9 වැනි කඩුල්ලේ සබදතාව ලකුණු 40කි. කරුණාරත්න පන්දු 35කින් 6 පහර 2ක් සහ 4 පහරක් ද සමගින් නොදැවී ලකුණු 43ක් රැස් කළේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 262කි. නායක ශිකර් ධවාන් සහ ප්‍රිත්වි ෂෝ ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 58කි. ප්‍රිත්වි ශෝ පන්දු 24කින් ලකුණු 43ක් ලබා ගත්තේය. ඉශාන් කිශාන් පන්දු 42කින් ලකුණු 59ක් රැස් කළේය. ඉන්දීය මුල් පෙල කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 143කදීය. නායක ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස් කළේය.