පන්නිපිටියේ නිවසකින් මතු වූ රුපියල් මිලියන 13.9

'හරක් කටා'ගේ සහයක 'රන් මල්ලි'ගේ ඥාති නිවසක වලලා තිබූ රුපියල් මිලියන 13.9ක මුදලක් සොයා ගනී

by Chathuranga Rajapaksha 18-07-2021 | 10:06 AM

COLOMBO (News 1st): කොට්ටාව, පන්නිපිටිය, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක මිදුලේ වලලා තිබූ රුපියල් මිලියන 13.9ක් වටිනා මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ(17) දින මෙම වැටලීම සිදු කළ බවය. මෙලෙස වැටලීම සිදු කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකැලුම් නොහොත් 'රන් මල්ලි' නමැති පුද්ගලයාගේ බිරිඳගේ සහෝදරයා තාවකාලිකව නැවතී සිටි නිවසක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. චරිත් සඳකැලුම් නොහොත් 'රන් මල්ලි' නමැති පුද්ගලයා නදුන් චින්තක නොහොත් 'හරක් කටා'ගේ සහයකයෙකු වන අතර ඔවුන් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිටින බවට විශ්වාස කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙම වැටලීමේදී 'රන් මල්ලි'ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ. සොයාගත් මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් බවට අනාවරණය වී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. පසුගිය මාසය පුරා හෙරොයින් සහ ආයුධ දකුණු ප්‍රදේශයට රැ‌ගෙන යාම සම්බන්ධයෙන් පොලීසිය කළ වැටලීම් වලදී කළ විමර්ශන වලින් පසු අනාවරණය කර ගත් කරුණු මත පදනම් මෙම වැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.