වසර 60කට පසු ජර්මනියට දරුණු ගංවතුරක්

බටහිර යුරෝපයට බලපෑ ගංවතුරින් මියගිය පුද්ගලයින් ගණන 170 ඉක්මවයි

by Staff writer 18-07-2021 | 2:14 PM

COLOMBO (News 1st) - බටහිර යුරෝපයට බලපෑ ගංවතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 170 ඉක්මවා ගොස් තිබේ.

අතුරුදන් වූවන් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. යුරෝපයට ඇඳ හැලුණු වාර්තාගත වර්ෂාපතනයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ජර්මනියට හා බෙල්ජියමටයි. එම රටවල මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය. ගංවතුර හේතුවෙන් ජර්මනියේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 143කි. ඒ අතරට ගිනි නිවීම් භටයින් 04 දෙනෙකු ද ඇතුළත් වේ. ගංවතුරෙන් යුරෝපයේ මාර්ග, නිවාස, වාහන ඇතුළු දේපොළ රැසකට ද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මාස 02ක කාලයක වාර්ෂාපතනයක් පැය 24ක් තුළ එරටට ඇඳ හැලුණු බවය. වසර 60කට පසු ජර්මනියට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙයයි. විදෙස් මාධ්‍ය වාර්තා ක⁣ළේ, ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශ අද නීරීක්ෂණය කිරීමට නියමිත බවය. බටහිර යුරෝපයට බලපෑ ඇති ගංවතුර තත්ත්වයෙන් ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තයට ද පීඩා එල්ල වී තිබේ. විශේෂඥයින් මත පල කරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වැසි තත්ත්වය ඉහළ යා හැකි බවය.