by Staff writer 18-07-2021 | 9:18 PM
COLOMBO (News 1st) - ගෙවුණු පැය 24 තුළ අලි - මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මේ අතර වන අලින් දෙදෙනෙකුගේ ද සිරුරු ද ගල්ගමුව හා වව්නියාවෙන්
සොයා ගැනිණි.
අනුරාධපුර, කහටගස්දිගිලිය, කොක්මඩුව ප්‍රදේශයේ ගොවීන් පිරිසකට අද(18) උදෑසන වන අලියෙකු නිරීක්ෂණය වී තිබේ.
ඒ, රාත්‍රී කාලයේ පැල් රැක සිය නිවෙස් බලා එන අතරතුරයි.
එම අලියා කුඹුරු යායකට ඇතුළුවීමට යත්ම ගම්වාසීන් එම අලියා පළවා හැරීමට තැත් කර ඇත.
එහිදී වන අලියාගේ ප්‍රහාරයට දෙදෙනෙකු ගොදුරු වන්නේ යාබද සුසාන භූමියකදීය.
එම දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් අයෙකු දිවි බේරා ගන්නේ ගසක් උඩ තිබූ පැළකට ගොඩ වීමෙනි.
ප්‍රහාරයන් මියගොස් ඇත්තේ, මල්හාමිගේ සෙනෙවිරත්න නැමති 62 හැවිරිදි තිදරු පියෙක් සහ ජී. වික්‍රමසිංහ නැමති 60 හැවිරිදි එක්දරු පියෙකි.
මේ අතර මිහින්තලේ, කනදරාවැව ආසන්නයේදී අද වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්විය.
ඊට ආසන්නම හේතුව වූයේ, ඊයේ අලුයම පොතාන ප්‍රදේශයේදී අබාධිත රණවිරුවෙකුට එල්ල වූ වන අලි ප්‍රහාරයයි.
ප්‍රහාරයෙන් එම රණවිරුවාගේ එකම පාදයට තුවාල සිදුව තිබේ.
විරෝධතාවය පැවති ස්ථානයට වනජීවී නිලධාරීන් පැමිණීමත් සමග ඇතිවුණේ නොසන්සුන් තත්ත්වයකි.
මේ අතර ඊයේ(17) පස්වරුවේ මඩකලපුව, කිරාන් ප්‍රදේශයේ අකුරාණෙයි ගම්මානයේදී ද වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
තම ගවයන් රැගෙන ඒමට ගොස් සිටියදී 63 හැවිරිදි අට දරු පියෙක් මෙලෙස ප්‍රහාරයට ලක්විය.
තවද ගල්ගමුව, කරුවලගස්වැව ප්‍රදේශයේ නිවසක් අසළ තිබියදී අලියකුගේ සිරුරක් අද අලුයම සොයා ගැනිණි.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ, වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි මෙම අලියා ඊයේ රාත්‍රීයේ වැසිකිළි වලකට ඇද වැටීමෙන් මියගොස් ඇති බවය.
මීට අමතරව මුලතිව්, ඔදියමලෙයි, පෙරියකුලම් ගම්මානයේ වෙල් යායක අලියෙකු මියගොස් සිටියේ ය.
තුවාල ලබා මෙම ස්ථානයේ පෙරේදා සිට වැටි සිටි අලියා ඊයේ මියගොස් ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.
https://youtu.be/05_6axVTKeE