නිවෙස්වලින් යා නොහැකි අයට ජංගම එන්නතකරණ සේවාවක්

බැහැරට යා නොහැකි පුද්ගලයින්ට නිවෙස්වලටම ගොස් කොරෝනා මර්දන එන්නත් දෙන ලෙස ජනපතිගෙන් උපදෙස්..

by Staff writer 16-07-2021 | 6:22 PM

COLOMBO (News1st) : රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර ඇති නමුත්, රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහය ඇතිව හෝ විශේෂ දුරකතන අංක ඔස්සේ තොරතුරු ගෙන ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කර ඇත. පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කර ඇති අතර , එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ. ඒ, එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන පෙන්වා දුන්නේ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුළ එන්නත්කරණය කළ හැකි බවය. ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී ඇති බවත්, එම නිසා අදාළ ක්ෂේත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.