ස්පාඤ්ඤ වසාදැමීම ව්‍යවස්ථා විරෝධී බවට තීන්දුවක්

ස්පාඤ්ඤ LOCKDOWN කිරීම ව්‍යවස්ථා විරෝධී බවට අධිකරණ තීන්දුවක්...

by Sagarika Chathumali 15-07-2021 | 11:58 AM

COLOMBO (News1st) :  කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය වසරේ ස්පාඤ්ඤ ලොක්ඩවුන් කිරීම සිදුව ඇත්තේ, ව්‍යවස්ථා විරෝධි ආකාරයෙන් බවට එරට උපරිමාධිකරණය තීන්දු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ අධිකරණ තීන්දුවත් සමග ලොක්ඩවුන් සමයේ නීති කඩ කළ බව පවසමින් ආණ්ඩුව ජනතාවගෙන් අය කරගත් දඩමුදල් යළි ලබා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව හිමිවන බවයි. කෙසේ වෙතත් එරට දක්ෂිණාංශික Vox පක්ෂය ගොනුකළ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ලොක්ඩවුන් සමයේ ආදායම් අහිමි වූ බව පවසමින් ජනතාවගෙන් හෝ ව්‍යාපාරිකයින්ගෙන් ඉදිරිපත් වන  නඩු භාර නොගන්නා බවයි. කොරෝනා ආසාදිතයින් මෙන් ම මරණ ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් රෝහල් ධාරිතාව ද උපරිමයට ළඟා වීමත් සමග පළමු රැල්ල මැඩපැවැත්වීම සඳහා පසුගිය 2020 වසරේ මාර්තු 14 වනදා ස්පාඤ්ඤ තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය. හදිසි තත්ත්වය යටතේ සියලු ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස නියෝග කෙරුණු අතර නිවස්වලින්  බැහැර යාමට අවසර ලැබුණේ, අත්‍යාවශ්‍ය කාරණාවක් සඳහා පමණක් වූ අතර අත්‍යාවශ්‍ය ව්‍යාපාර හැර අනෙකුත් ව්‍යාපාරික ස්ථාන සියල්ල ද වසා දැමීමය නියෝග කෙරිණ. ස්පාඤ්ඤය නීතියට අනුව හදිසි තත්ත්වයක්, ව්‍යතිරේක තත්ත්වයක් සහ ඉහළම මට්ටමේ වසා දැමීමක් වශයෙන් හදිසි අවස්ථා තුනක් ප්‍රකාශයට පත් කළ හැකි ය. එරට තුළ හදිසි තත්ත්වය යන්න, අනතුරු ඇඟවීමේ තත්ත්වයක් ලෙස සැලකෙන අතර පාර්ලිමේන්තු විවාදයකින් තොරව රජයට එවැනි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව පවතී. එහෙත් හදිසි තත්ත්වය යටතේ පසුගිය වසරේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤ රජය විවිධ නීති පැනවීම් හා සීමා කිරීම් සිදු කිරීමට පියවර ගත්තේ ය. ඒ අනුව සිදුවූ හදිසි තත්ත්වයක් යටතේ  නීති පැනවීම මූලික අයිතිවාසිකම් මර්දනය කිරීමකට සමාන බව පැවසූ, අධිකරණයේ නිගමනය වී ඇත්තේ, රජය හදිසි තත්ත්වයකට වඩා ව්‍යතිරේක තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ බවටයි. ව්‍යතිරේක තත්ත්වයක් රජයට ඝෘජුවම ප්‍රකාශයට පත් කළ නොහැකි අතර ප්‍රථමයෙන් ඒ් සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු වේ. ඒ අනුව ව්‍යතිරේක තත්ත්වයකදී පනවන නීති, හදිසි තත්ත්වයේදී පැනවීම හේතුවෙන් එම ලොක්ඩවුන් කිරීම ව්‍යවස්ථා විරෝධීබව අධිකරණය තීන්දු කළේ ය. කෙසේ වෙතත් මේ දක්වා ස්පාඤ්ඤයෙන්  4,041,000 කට වැඩි කොරෝනා ආසාදිතයින්  සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර කොරෝනා හේතුවෙන් අහිමිවී ඇති ජීවිත සංඛ්‍යාව 81,000කට  අධික වේ.