COLOMBO (News 1st) - අධිසංවේදී පරිසර පද්ධතියක් වන යාල වනෝද්‍යානයේ අක්කර 12,000 ක් විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
යාල ජාතික වනෝද්‍යානයට නීත්‍යානුකූල නොවන මාර්ගයක් කැපීමේ වැඩපිළිවෙළක් සැලසුම්, පිඹුරුපත් සකස් වෙනවයි කියන කාරණාව අපිට ආරංචි වෙලා තියනවා. ඒ වගේම අක්කර 12,000 ක් යාල ජාතික වනෝද්‍යානයෙන් බැහැර කිරීමේ යම් ක්‍රියාදාමයකටත් සැලසුම් සකස් වෙනවයි කියන එක අපිට ආරංචි වෙලා තියෙනවා. වනජීවී වෘක්ෂලතා ආඥාපනතට පටහැනිවයි මෙවන් දෙයක් සිදු කරනවනම් සිදු වෙන්නේ. යාල ජාතික වනෝද්‍යානය කියන්නේ ඉතාමත්ම අධිසංවේදී පරිසර කලාපයක් වන බල ප්‍රදේශයක්. මම කාරුණිකව ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මේ දශක ගණනාවක් සුරකින මේ වනාන්තරය විනාශ කරන්නට පිඹුරුපත් සකස් කරන්නට එපා. එය එසේ කරමින් ඉදිරියට ගියොත් මේ රටේ සියලුම ප්‍රගතිශීලී ජන බලවේගත් සමග ඒකරාශී වෙලා මේ දැවැන්ත පරිසර විනාශය නතර කරන්නට අපි අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව නීත්‍යානුකූලව අපි කටයුතු කරනවා.
මේ අතර පුරාවිද්‍ය ඒකකයේ කණ්ඩායමකට යාල වනෝද්‍යානය තුළ පිහිටා ඇති ආකාශ චෛත්‍ය නැමති පුරාවිද්‍යා භූමියේ ගවේෂණයක් සඳහා අවසර ලබා දී ඇති බව වන සත්ත්ව හා සොභා ආරක්ෂක සංගමය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
බාහිර පාර්ශ්ව රැසක් ආකාශ චෛත්‍ය භූමිය සංවර්ධන කිරීම සහ සිතුල්පව්වේ සිට යාල වනෝද්‍යානය හරහා එම ස්ථානයට පිවිසීමට පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ද එම නිවේදනයේ සඳහන් ය.
එසේ මාර්ගයක් ඉදිකළහොත් යාල වනෝද්‍යානයට මෙන්ම වන සතුන්ට ද විශාල හානියක් සිදු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම සංවර්ධන කටයුත්ත අලියාගල ප්‍රදේශයේ සිදු කිරීමට නියමිතව තිබෙන බව පරිසරවේදී සජීව චාමිකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණයක් කළේය.
මෙය නීතිවිරෝධි ආකාරයට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර වන ජීවී දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ භූමි කළමණාකරණය පිළිබඳ අධ්‍යක්ෂක මංජුල අමරරත්න මහතා මේ පිළිබඳව කළ විමසීමකදී කියා සිටියේ මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එක් කණ්ඩායමකට පමණක් ආකාශ චෛත්‍ය භූමියේ ගවේෂණ කටයුතු සදහා යාල වනෝද්‍යානයට පිවිසීමට අවසර දී ඇති බවය.
ආකාශ චෛත්‍ය භූමිය තුළ සිදු කරන ඕනෑම සංවර්ධන කටයුත්තකදී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගවේෂණ කටයුතු සඳහා පමණක් කණ්ඩායමක් එම භූමියට පිවිසුණු බවය.
එම භූමියේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව මේ වනතෙක් කිසිදු සැලැස්මක් සකස් කොට නොමැති බව ද එම දෙපාර්තමේන්තුව කියා සියේය.