වෘත්තීය සමිති නායකයින් වෙනුවෙන් පෙත්සම් 15ක්

නීති විරෝධීව නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින වෘත්තීය සමිති නායකයින් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා පෙත්සම් 15ක්

by Staff writer 15-07-2021 | 9:53 PM

COLOMBO (News 1st) - නීති විරෝධි අන්දමින් පල්ලේකැලේ හා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින සමාජ ක්‍රියාකාරකයින්, වෘත්තීය සමිති නායකයින් හා අන්තර් විශ්වවිද්‍යාලය බල මණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු 38 දෙනා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් අද(15) අභියාචනාධිකරණ හමුවේ හබයාස් කෝපූස් පෙත්සම් 15ක් ගොනු කර තිබේ.

කොවිඩ් 19 වසංගතයට ගොඳුරු වූ ආසාදිතයින් පවා නිවාස තුළම නිරෝධායනයට ලක් කරන මෙම වකවානුවේ කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වූ සමාජ ක්‍රියාකාරීන් නිරෝධායන පනතට මුවා වී එලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සිටින්නේ දේශපාලන හේතුන් මත යැයි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසකි.