ජනපතිගේ එන්නත්කරණ සැලැස්ම ඉතා ප්‍රායෝගිකයි - WHO

ජනපතිගේ කොවිඩ් මර්දන එන්නත්කරණ සැලැස්ම ඉතා ප්‍රායෝගික එකක් - WHO ශ්‍රී ලංකා නියෝජිත

by Staff writer 15-07-2021 | 9:06 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති කොවිඩ් එන්නත්කරණ සැලැස්ම ඉතා ප්‍රායෝගික එකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත අලකා සිං මහත්මිය පවසන්නීය.

ඇය මේ බව පැවසුවේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ යුද හමුදාව මගින් ක්‍රියාක්මක කරන එන්නත්කරණ වැඩසටහන අද(15) නිරීක්ෂණය කරමිනි. බස්නාහිර පළාතේ පුද්ගලයින් සඳහා සයිනෝෆාම් එන්නත් ලබාදීම මෙම මධ්‍යස්ථානයේදී සාර්ථකව සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත අලකා සිං මහත්මිය එහිදී මෙසේ සිය අදහස් පළ කළාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකා රජයේ එන්නත්කරණ ඉලක්කයන් ළඟා කර ගැනීමට සහය දක්වනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එන්නත්කරණය පිළිබඳව ඉදිරිපත් කර ඇති සැලැස්ම ඉතා ප්‍රායෝගික වන අතර එය වැදගත්. මෙම ස්ථානයේදී ක්‍රමානුකූලව එන්නත්කරණය සිදු වනවා. මෙහි ඇති පරිසරය, සහයට සිටින කණ්ඩායම්, හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් මෙන්ම ගිලන්රථ ද තිබීම විශේෂයි.
යුද හමුදාව සඳහන් කළේ, පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා විහාරමහා දේවී උද්‍යානයේ එන්නත්කරණය සිදුවන බවය. බස්නාහිර පළතේ අවුරුදු 30 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට මෙම මධ්‍යස්ථානයෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත හැකිය.