අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති හමුවක්

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

by Staff writer 15-07-2021 | 9:52 PM

COLOMBO (News1st) : ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලේනා ටෙප්ලිට්ස් මහත්මිය, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

ඒ, විදේශ කටයුතු අමාත්‍යංශයේදීය. එහිදී කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ ව්‍යසනයේදී පාරිසරික හා සමාජ ආර්ථික බලපෑම අවම කිරීමට අමෙරිකාව දුන් සහයෝගයට විදේශ අමාත්‍යවරයා තානාපතිවරියට ස්තුතිය පළ කළේ ය. US Aid අමෙරිකානු ආධාර යටතේ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ඔක්සිමිටර් වැනි හදිසි වෛද්‍ය පහසුකම් ලබාදීම මෙන්ම කොවැක්ස් වැඩසටහන යටතේ එන්නත් ලබාදීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා අමෙරිකානු රජයට මෙම හමුවේදී කෘත්‍යඥතාව පළ කළ බව අමාත්‍යාංශය සඳහන් කළේ ය. දෙරට භුක්ති විදින ශක්තිමත් දේශපාලන හා ආර්ථික ද්විපාර්ශ්වික සහයෝගීතාව උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන අමෙරිකානු පෞද්ගලික අංශයේ ආයෝජන ද මෙම හමුවේදී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව තිබේ. මෙහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාව සහ වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම්, ඒකාබද්ධ කොමිසම ඇතුළු අනෙකුත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව දෙපාර්ශ්වය අතර දිර්ඝව සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.