ක්‍රිකට් ක්‍රිඩකයින් 5ක් තීරණාත්මක තීන්දුවක් අභියස

SPECIAL REPORT: ක්‍රිකට් ක්‍රිඩකයින් 05 දෙනෙක් තීරණාත්මක තීන්දුවක් අභියස..

by Staff writer 14-07-2021 | 11:19 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අද පත්ව ඇති තත්වය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

නිමාව දුටු කොදෙව්, බංගලාදේශ සහ එංගලන්ත සංචාර හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසයේ සිදුවූ විශාලතම බිඳවැටීම සිදුව ඇත්දැයි බොහෝ දෙනෙකු පවසයි. හිටපු ක්‍රිකට් නායක ඇනජලෝ මැතිව්ස් පසුගිය දා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත තමන් ඉන්දීය සංචාරයෙන් ඉවත් වන බවය. එසේම තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ අදහසකින් පසු වන බව එම ලිපියේ සඳහන් විය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ද තමා ක්‍රිකට් තේරීම් වලට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් බලධාරීන්ට ලිපියක් යොමු කර තිබේ. යහපත් මානසික හා ශරීර සෞඛ්‍යයෙන් පසුවන තමා තේරීම් සඳහා ඇතුළත් නොවීම පිළිබඳව චන්දිමාල් ප්‍රශ්න කර තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ ගත් තීන්දු තීරණ සියල්ලක්ම ගනු ලැබුවේ රට වෙනුවෙන් බව පවසන දිනේෂ් චන්දිමාල් අවධාරණය කරන්නේ ඒ හරහා තමන් පෞද්ගලිකව අපහසුතාවට පත්ව ඇති බවය. හිතුමතේ සිදුවන තේරීම් තමාගේ දක්ෂතාවන්ට බලපෑමක් එල්ල කර ඇති බව ද චන්දිමාල් එම ලිපියෙන් පෙන්වා දෙන්නේය. ඔහු විමසා ඇත්තේ තේරීම් කමිටුව හා ක්‍රීඩකයින් අතර විශ්වාසයක් තිබිය යුතු නොවේද යන්නයි. එසේම මෙරට බිහිවූ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, අරවින් ද සිල්වා, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර වයස අවුරුදු 30 ට පෙර හා පසුව ලකුණු රැස් කර ඇති ආකාරය පිළිබඳව අදාල ලිපිය මඟින් කරුණු දක්වා තිබේ. එක්දින ජාත්‍යන්තර පිටියේදී මෙම ක්‍රීඩකයින් වයස අවුරුදු 30 පසුව ලකුණු රැස් කර ඇති ආකාරය ද මෙම ලිපිය මගින් දක්වා ඇත. වයස කිසිසේත්ම දක්ෂතාවට බලපෑමක් නොවන බව පවසන චන්දිමාල් ක්‍රිකට් බලධාරීන් ගෙන් ඉල්ලා ඇත්තේ තම ඉදිරි ක්‍රිකට් අනාගතය ගැන තීන්දුවක් ගැනීමට සාකච්ඡාවක් ලබා දෙන ලෙසය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පසුගිය 08 වැනිදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දැක්විය.
2014 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සේ 2019 වෙනකොට ක්‍රීඩා ඇමතිවරු 4ක් හිටියා. ප්‍රධාන පුහුණුකරුවෝ 5ක් හිටියා මේ අවුරුදු 4ට. සපෝර්ටිස් ස්ටාෆ් එක 20ක් 30ක් අතර ඉඳලා තියෙනවා. කණ්ඩායමේ නායකයෝ 10 දෙනෙක් අත්හදා බලලා තියෙනවා මේ අවුරුදු හතර හමාර පහක කාල සීමාව තුළ. අවුරුදු 04ක් ඇතුළත ක්‍රීඩකයින් එකසිය පස් දෙනෙක්ට අවස්ථාව දෙන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි අවසාන ප්‍රතිඵලය තමයි ඒ කිසි කෙනෙක්ට තමන්ගේ පොසිෂන් එකේ සෙට්ල් වෙන්න අවස්ථාව ලැබුනේ නෑ. මෙයින් ක්‍රීඩකයින් 40 දෙනෙක් එක අවුරුද්දක තමයි ක්‍රීඩා කරලා තියෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වැටීම 2015 ඉදලා තමයි ආරම්භ වෙන්නේ.
එහෙත් තවමත් සිදු වන්නේ එවැන්නක් නොවේද? විවිධ අවස්ථාවලදී පැකිලීමකින් තොරව නායක්තවයේ ජාතික වගකීමට මුහුණ දුන් ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සුරංග ලක්මාල්, ලහිරු තිරිමාන්න කිසිදු ජාතික සංචිතයක පුහුණුවීම් වලට මෙතෙක් කැඳවා නැහැ. සුරංග ලක්මාල් ද සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගැනීමට බලපොරොත්තුවෙන් පසුවන අතර ලහිරු තිරිමාන්න ලබන මස ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සූදානම් බව වාර්තා වේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගත් සුදු පුහුණුකරුවන්ට හා එම ක්‍රීඩාවට සැම අතින්ම වග කියන ක්‍රිකට් පරිපාලකයින් මේ ක්‍රීඩකයින්ට මෙලෙස සැලකීම හරහා තව දුරටත් සිදුවන්නේ ක්‍රිකට් බිඳ වැට්ටවීමක් විනා යහපතක් නොවේ. එවන් පසුබිමක අපට අමතක නැති රොෂාන් මහානාමගේ වේදනාත්මක සමුගැනීමේ සිට තිසර පෙරේරාගේ හදිසි සමුගැනීම දක්වා සිදුවූ අමිහිරි අත්දැකීම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අප්‍රමාණ කැපවීම් කළ මේ ක්‍රීඩකයින්ටද උරුම කර නොදීමට බලධාරීන් වගබලා ගතයුතු නොවේද?