හරිත ආර්ථිකයක් බිහි කිරීම මුදල් ඇමතිගේ අවධානයට

තානාපතිවරු පිරිසක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් මුදල් ඇමති හමුවෙයි..

by Staff writer 14-07-2021 | 10:27 PM

COLOMBO (News 1st) - රටවල් 04ක සහ යුරෝපා සංගමයේ තානාපතිවරු මෙන්ම මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවිය.

අමෙරිකා එක්සත් ජනපදය,ජර්මනිය, චීනය, රුසියාව හා යුරෝපා සංගමයේ තානාපතිවරු මුදල් අමාත්‍යාංශයේදී බැසිල් රාජපක්ෂ මහතා හමුවිය. බ්‍රිතාන්‍ය හා ඉන්දියාව යන රටවල්වල මහ කොමසාරිස්වරුන් ද බැසිල් රාජපක්ෂ මහතා හමුවිය. මුදල් අමාත්‍යාංශය පවසන්නේ, ද්විපාර්ශවිකව පැවති සාකච්ඡාවලදී හරිත ආර්ථිකයක් බිහි කිරීම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා වැඩි අවධානයක් යොමු කළ බවයි. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා ද සහාය අපේක්ෂා කළ බව ද එම නිවේදනයේ සඳහන් ය. ද්විපාර්ශවීය වෙළෙඳාම වඩා සහයෝගයෙන් ඉදිරියට රැගෙන යාම සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී කැමැත්ත පළකර තිබේ. චීන තානාපතිවරයා දන්වා ඇත්තේ, ශ්‍රී ලංකාව සඳහා ඉදිරියටත් එන්නත් පහසුකම් සපයන බවය. ඉහළපෙළේ ආයෝජකයින් හම්බන්තොට කර්මාන්ත කලාපයට සම්බන්ධ කිරීමට සූදානම් බව ද චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. අමෙරිකානු තානාපතිවරිය ප්‍රකාශ කර ඇත්තේ, එල්.එන්.ජී. බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජකයින් යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවය.