by Staff writer 14-07-2021 | 8:22 PM
COLOMBO (News 1st) - උද්ඝෝෂණ සහ මහජන පෙළපාළි අත්හිටුවා ඇති බවට පොලිස් මාධ්‍ය ඒකකය පසුගිය ජූලි මස 06 වැනි දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් රටේ ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමින්, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් අද(14) ශ්‍රේෂ්ඨාධිකණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් ගොනු කර තිබේ.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සෞඛ්‍ය ඇමතිවරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.
කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ඇමතිනිය විසින් නිකුත් කර ඇති සියලුම නිවේදන සහ ගැසට් නිවේදන අධිකරණය හමුවට ගෙන්වා ඒ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පවත්වන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ අතර අධිකරණය ඇප මත මුදා හැරීමෙන් අනතුරුව පොලීසිය නිරෝධායනයට යොමු කළ පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හා නිරෝධායනයෙන් නිදහස් කරන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා මාලිගාවත්ත සමාධි ආයතනයේ විහාරවාසී තංගල්ලේ සාරද හිමියන් අද අභියාචනාධිකරණයට හබයාස් කොපූස් පෙත්සමක් ගොනු කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජගිරිය, මිරිහාන සහ තලංගම යන පොලිස්ථානවල ස්නාධිපතිවරුන් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.