නීති කෙටුම්පත් සම්පාදකට අගමැතිගෙන් වි⁣ශේෂ උපදෙසක්

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් රාජකාරියේදී සද්භාවයෙන් යුතුව ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාවක් දීමට නීති කෙටුම්පත් සකස් කරන්න - අගමැති

by Staff writer 13-07-2021 | 8:37 PM

COLOMBO (News 1st) - රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයින් රාජකාරියේදී සද්භාවයෙන් යුතුව ගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාවක් ලබා දීම පිණිස නීති කෙටුම්පත් සකස් කරනැන්යි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(13) නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී තිබේ.

දේශපාලන පළිගැනීමට ලක් වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සැලසීම පිළිබඳව අද අරලියහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වා ඇත. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් සමග අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීති කෙටුම්පත් සම්පාදකවරිය, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වූ බවය. එහිදී යහපාලන ආණ්ඩුව නෛතික නොවන ක්‍රියාවලියක් ඔස්සේ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ සේවකයින්ට මුහුණ පෑමට සිදු වූ ගැටලු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පැහැදිලි කර ඇත. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සලසාලීමට අදාළ අරමුණ අග්‍රාමාත්‍ය ලේකම්වරයා පැහැදිලි කළ බවය. ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහාය දීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු ඇතුළු කමිටුවක් පත් කරමින් එහි නිර්දේශ මසක් ඇතුළත ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා අද පැවති රැස්වීමේදී උපදෙස් දී තිබේ. නිලධාරීන්ට ඇති නෛතික රාමුව ඉක්මවා සද්භාවයෙන් යුතුව රාජකාරි ඉටු කිරීමට ඉඩදිය හැකි සීමාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් දීමට සකස් කළ චක්‍රලේඛ කෙටුම්පතක් සකස් කොට ඇති බව ද මෙහිදී අනාවරණ විය. එය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.