by Staff writer 12-07-2021 | 11:27 PM
COLOMBO (News 1st) - යෝජිතව තිබූ සෝෆා ගිවිසුමට එරෙහි පෙත්සම බහා තැබීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය(GMOA) අද(12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
එම සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා දැනුම් දුන්නේ, රජය විසින් එම ගිවිසුමට යම් දවසක අත්සන් තබන්නේ නම් ඊට එරෙහිව නැවත නඩු පැවරීමේ අයිතිය රඳවා තබා ගන්නා බවය.
අමෙරිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට සැලසුම් කර තිබූ සෝෆා ගිවිසුම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරන ඉතා භයානක ගිවිසුමක් වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි සංජීව ජයවර්ධන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකා රජය සහ අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය අතර අත්සන් කිරීමට සැලසුම් කර තිබු මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම, ඇක්සා ගිවිසුම හා සෝෆා ගිවිසුම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ක් බුවනෙක අලුවිහාරේ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේදී අද කැඳවනු ලැබුවේ ය.
එම පෙත්සම් බහා තැබීමට ද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේය.