"සෞභාග්‍යයේ දැක්ම යථාර්තවත් කරනවා"

රජයේ ප්‍රමුඛතාවන්ට මුල් තැන දෙමින් සෞභාග්‍යයේ දැක්ම යථාර්තවත් කරනවා - බැසිල් රාජපක්ෂ

by Staff writer 12-07-2021 | 10:06 PM

COLOMBO (News 1st) - රජයේ ප්‍රමුඛතාවන්ට මුල් තැන දෙමින් සෞභාග්‍යයේ දැක්ම යථාර්තවත් කරන බව නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ඊයේ අරලියගහ මන්දිරයේ පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා නියෝජිතයින්ගේ හමුවක් අමතමිනි. එහිදී හිටපු පළාත් සභා නියෝජිතයින් විශ්වාසය පළ කර ඇත්තේ 2006, 2007 වර්ෂවල පැවති ආර්ථික අභියෝග ජයගත්තා සේම බැසිල් රාජපක්ෂ මහතා වත්මන් ආර්ථික අභියෝග ජයගනු ඇති බවය. 2006, 2007 සහ 2008 වර්ෂවල යුද්ධය පැවති සමයේදී රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.2 පමණ අඩු මට්ටමක පවතිද්දී ග්‍රාමීය ආර්ථිකය ද සංවර්ධනය කිරීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකි වූ බව එහිදී එම පිරිස පෙන්වා දී තිබේ. බැසිල් රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත්තේ, මුදල් අමාත්‍යවරයා ලෙස රජයේ ප්‍රමුඛතාවන්ට මුල්තැන දෙමින් සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කිරීමට සහය දීම තම ප්‍රමුඛ වගකීම සේ සලකා කටයුතු කරන බවය. ඒ අතරම රජයේ වගකීම් සේම පක්ෂය වෙනුවෙන් ඉටුකළ යුතු කාර්ය භාර්යය ද නොපිරි හෙලා ඉටු කිරීමට කැපවෙන බව ද ඔහු අවධාරණය කර තිබේ. මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඒ සඳහා සියලු දෙනාගේ සහය තමන් අපේක්ෂා කරන බවය.