එජාප මන්ත්‍රී දෙදෙනෙකු නෙරපීම වළක්වමින් වාරණයක්

ජා-ඇල නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පක්ෂයෙන් නෙරපීම වළක්වමින් අධිකරණයෙන් වාරණ නියෝගයක්

by Staff writer 12-07-2021 | 10:19 PM

COLOMBO (News 1st) - ජා-ඇල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය අද එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා, එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා හා එහි විනය කමිටුවට අද පස්වරුවේ වාරණ නියෝගයක් නිකුත් කළේය.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ලබන 26 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කළේ එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන අර්නස්ට් ප්‍රනාන්දු හා ආර් අබේරත්න යන මහත්වරුන් විසින් ගොනුකර තිබූ පැමිණිලි දෙකක් සලකා බලමිනි. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන් තමන් සමගි ජන බලවේගය පක්ෂයට සහය දැක්වූ බවට චෝදනා කරමින් එලෙස පක්ෂයෙන් නෙරපීමට පියවර ගැනීම යුක්ති සහගත නොවන බවට පෙන්වා දෙමින් ඔවුන් මෙම පැමිණිලි ගොනු කර තිබේ. පැමිණිලි දෙක සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජූලි 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි යැවීමට විනිසුරුවරයා එහිදි නියෝග කළේය.