සෞඛ්‍ය නීති කොවිඩ් පාලනයට පමණක් භාවිත කරන්න

නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් වන අතර දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිත නොකළ යුතුයි - ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට සහ පොලිස්පතිට ලිපියක්

by Staff writer 10-07-2021 | 6:37 PM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ( 1) ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන මහජන අයිතීන් සෞඛ්‍ය හේතූන් මත සීමා කළ හැකි වුවත්, එම සීමා කිරීම් සිදු කළ යුත්තේ නීතිය මගින් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

එම සංගමය පෙන්වා දෙන්නේ, සීමා කිරීම් තුළින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත අරමුණුවලට සීමා කිරීම් සම්බන්ධ විය යුතු අතර, එම සීමා කිරීම් සාධාරණ විය යුතු බවයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමය එම කරුණු අවධාරණය කරන්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. ඊයේ දා තමින් යුත් මෙම ලිපිය යොමු කර තිබෙන්නේ සාමකාමී උද්ඝොෂණවල නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හා නිරෝධායනය කිරීම පාදක කර ගෙනය. මෙම ලිපියේ සඳහන් වන්නේ, අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ, පොලිස් මාධ්‍ය අංශය විසින් පී.එම්.ඩී/ පී.ආර්/ 845/ 21 යටතේ 2021 ජුලි 06 වැනි දින නිකුත් කරන ලද ලිපියකින් පසුව බවයි. එම ලිපියෙන් යොමු අංක ඩී.බී.ජී.(පී.එච්.එස්.) 1/ ඩී.ඕ 02/ 07/ 13/ 2017/ 20 යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පොලීසිය වෙත යොමු කරන ලද උපුටා ගැනීමක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි. එම සංගමය සඳහන් කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අදාළ ලිපිය නිකුත් කෙරී ඇත්තේ කවර දිනයකදී දැයි පොලීසිය හෙළිදරව් කර නොමැති බවය. පොලීසියේ අදාල මාධ්‍ය නිවේදනයෙහි, අන්තර්ගතයෙන් පවා මහජනතාව විශාල වශයෙන් ඒකරාශීවන විරෝධතා වැළැක්වීමට කටයුතු කරන ලෙස උපදෙස් දෙන නමුත් මහජන විරෝධතා පූර්ණ වශයෙන් තහනම් කිරීමක් අදහස් කර නැති බව නීතීඥ සංගමය පෙන්වා දෙයි. මෙම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශානුකූලව පවත්වනු ලබන රැස්වීම් හා විරෝධතා තහනම් කර නොමැති බවය. ඕනෑම සංවිධිද උද්ඝෝෂණයක් සිදු කළ යුත්තේ මහජන සෞඛ්‍යට තර්ජනයක් නොවන අන්දමින් බවත් විරෝධතාවලට පෙළපාලිවලට හෝ ඒ හා සමාන ක්‍රියාකාරකම්වලට සහභාගීවීමට අදහස් කරන පුද්ගලයින් තමන්ගේ හා පොදු ජනතාවගේ ආරක්ෂාන වෙනුවෙන් සෞඛ්‍ය නිර්දේශානුකූලව කටයුතු කළ යුතුය යන්න තම දැඩි විශ්වාසය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. එහෙත් කලින් පනවනු ලැබූ සීමා කිරීම් ලිහිල් කිරීම යෝග්‍ය යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තීරණය කර තිබෙන සන්දර්භයක් තුළ පොලීසියට විරෝධතාකරුවන්, පාලනය කිරීම සදහා දැඩි බලයක් යොදවමින් ක්‍රියා කිරීම සාධාරණ හේතුවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බව නීතීඥ සංගමය අවධාරණය කරයි. විරෝධතාවලට සහභාගීවීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ පුද්ගලයින් ඇප මත මුදා හැරීමෙන් පසු ඔවුන්ගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියා සිටින්නේ වර්තමානයේදී කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් හා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් පවා නිරෝධායන මධ්‍යස්ථානවලට වඩා නිවෙස්වල හෝ හෝටල්වල නිරෝධායනය සිදු කෙරෙන පසුබිමක් තුළ ගනු ලබන ප්‍රශ්නගත බලහත්කාරී නිරෝධායන ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවය. කොවිඩ් 19 සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයේ රෙගුලාසි අනුව නිරෝධායනය අදාල වන්නේ රෝගය වැළදී ඇති හෝ එය වැළඳුණ බවට සැක කරනු ලබන අයෙකුට පමණක් බව නීතීඥ සංගමය පෙන්වා දෙයි. වෙනත් කිසිවකුට නිරෝධායනය අදාල නොවන අතර පැහැදිලිවම නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මිස දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිත නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි. එම සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින්නේ විරුද්ධ වීමේ නිදහසට අහිතකර ලෙස බලපාන අන්දමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙසය. සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පමණක් භාවිත කරන බව තහවුරු කරන්නැයි නීතීඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි. ඇප මත නිදහස් කරන ලද පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමට ගන්නා ක්‍රියාකාරකම් බලහත්කාරී හා නීතිවිරෝධී වනවා සේම එය අදාළ අධිකරණවලට කරන අපහාසයක් බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිගමනයයි. එවැනි අකටයුතු හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක හමුදා හා පොලීසිය විසින් කොවිඩ් 19 මර්දනය සඳහා ගනු ලබන අව්‍යාජ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් අහිතකර ප්‍රතිඵල ඇති කරනු ඇති බව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තැබීමෙන් වැළකී සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන ලෙසය.