"මේක අතිශයින්ම දුර්වල ආණ්ඩුවක්"

"ලෝකයේ සිටින මර්දනකාරීම පාලකයන් අතරට අපේ පාලකයිනුත් ගොනු වෙලා" - පාඨලී චම්පික

by Staff writer 09-07-2021 | 9:57 PM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවා අවභාවිත කරමින් සිදු කරන ක්‍රියාදාමයන්ගෙන් මේ රටටත් දැවැන්ත අපකීර්තියක් ඇති වී තිබෙන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය. සමගි ජන බලවේගයේ පා.ම පාඨලී චම්පික රණවක මහතා,
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවා අවභාවිත කරමින් සිදු කරන මේ ක්‍රියාදාමයන්ගෙන් මේ රටටත් දැවැන්ත අපකීර්තියක් ඇතිවෙලා තියෙනවා. රටේ ලෝකයේ සිටින මර්දනකාරීම පාලකයන් අතරට අපේ පාලකයිනුත් ගොනු වෙලා තියෙනවා. මර්දනය කිරීම සඳහා අර්ධ සන්නද්ධ සේවා ඒ වගේම දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කරන ආයතන පොලීසිය, සී.අයි.ඩී. ය සී.සී.ඩී.ය පාවිච්චි කරගෙන අර බුරුමයෙ හමුදා ජුන්ටාව ගිය පාරට අනිත් පැත්තෙන් පිවිසිලා තියෙනවා. අද මර්දනය ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් අල්ල ගන්න වෙන්න පුළුවන්, පෙරටුගාමී ක්‍රියාකාරිකයන් අල්ල ගන්න වෙන්න පුළුවන්, අද මර්දනය එල්ල වෙලා තියෙන්නෙ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට වෙන්න පුළුවන්. අද මර්දනය එල්ල වෙලා තියෙන්නෙ ජෝසප් ස්ටාලින් මහත්මය වගේ ගුරු සංගම් නායකයින්ට වෙන්න පුළුවන් ඒ නිසා මතක තියාගන්න මේ මර්දනය හෙට ඔබේ දොරටත් තට්ටු කරන්න එනව. නැගිටින්න කියල අපි ඉල්ලනව. ශක්තිමත්ව එකතු වෙන්න කියල අපි ඉල්ලනවා. මේක අතිශයින්ම දුර්වල ආණ්ඩුවක්. ඒ ගොල්ලන්ගෙ හංස ගීතය තමයි මේ ගයන්නෙ. ඒ නිසා මේ රටේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් , සමාජ ක්‍රියාකාරිකයින් ඒ වගේම ප්‍රධාන මාධ්‍ය, මේ ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය, ජනදුක කියන මාධ්‍ය රැකගැනීම සඳහා දැවැන්ත යෝධ ජන පවුරක් ඇති කරගන්න කියල අපි සියලු දෙනාටම ආයාචනා කරනවා