බැසිල් වෙනුවෙන් සැමරුම් තිබ්බේ නිරෝධායන නීති අනුවය

බැසිල් වෙනුවෙන් සැමරුම් පැවැත්වුවේ නිරෝධායන නීතිවලට අවනතවයි - ජගත් කුමාර

by Staff writer 09-07-2021 | 10:17 PM

COLOMBO (News 1st) - බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු පැමිණීම හා ඇමති ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් රටපුරා පැවති සැමරුම් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම ජගත් කුමාර මහතා,
නිරෝධායන නීතිවලට අවනතව තමයි ඒ කටයුතු කළේ. ඒ වගේම ජනතාවට වුණත් පක්ෂයක් විදියට අපි කොහෙවත් ඒකරාශි වෙන්න කියලා නැහැ. ජනතාව ස්වකැමැත්තෙන් තැන් තැන්වල රතිඤ්ඤා පත්තු කරලා ප්‍රසාදය පළ කරලා තිබෙනවා. නැත්නම් වෙන කාලෙක නම් එතුමාට ඕනනම් ලක්ෂ ගාණක් පාරට බස්සලා ඔවුන්ගේ සහයෝගය සතුට ප්‍රකාශ කරන්න තිබුණා. හැබැයි එහෙම අපි කලේ නැහැ මේ නිරෝධායන තත්ත්වයන් තුළ.
ප්‍රශ්නය,
රට ගොඩනගන ගමන යන්න බැරිද මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් අමාත්‍ය ධූරයේ තියාගෙන?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම ජගත් කුමාර මහතා,
පුළුවන් එතුමාට දැවැන්ත ශක්තියක් දෙන්න. එදා හිටියානේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා විදියට බැසිල් රාජපක්ෂ මහත්තයා. ඒ නිසා ඒ ශක්තිය එකතු කරන්නේ. යන්ත්‍රයක දැති රෝද 10 ක් එකට ක්‍රියාත්මක වුණොත් ශක්තිමත් වෙනවනම් දැති රෝද 9 ක් තියෙද්දි ඒක ක්‍රියාත්මක වෙනකොට ඒ ශක්තිය එන්නේ නැහැනේ ඒ වගේ තමයි.