''පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි''

''පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි'' - බැසිල් රාජපක්ෂ

by Staff writer 08-07-2021 | 8:45 PM

COLOMBO (News 1st) - නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(07) පෙරවරුවේ සිය අමාත්‍යාංශය වෙත පැමිණ සුබ මොහොතින් වැඩ භාර ගත්තේ ය.

ඒ, මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාදය මැදයි. බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි,
අවුරුදු 30ක පමණ කාලයක යුද්ධයක් නිසා අපි අතිශයින්ම පීඩා වින්දා. ඒ දැඩි පීඩාවෙන් අපි ප්‍රධාන වශයෙන් ගැලවුණේ රාජපක්ෂ පවුලේ තුන්දෙනෙකු ප්‍රධාන කරගෙන, ගෙන ගිය වැඩපිළිවෙළ නිසයි. මේ කාර්යය මෙහෙයවීමේ දී විශාල වැඩ කොටස කළේ මේ රාජපක්ෂවරු සහෝදරවරු තුන්දෙනා. මේක මම මේ රාජපක්ෂවරුන්ට කඩේ යන්න කියන කතාවක් නෙවෙයි. එහෙම මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නව ජේ.ආර්. ජයවර්ධන මහත්මයා, රජිව් ගාන්ධි ලංකාවට අහසින් පරිප්පු දැම්මහම බය වුණා. ඊට පස්සේ මේ රටට අහිතකර ගිවිසුමකට එළඹුණා රජය ගාන්ධිත් එක්ක. එදා නායකත්වය ක්‍රියා කළේ එහෙමයි. නමුත් ඒ තර්ජනය එහෙමම තිබුණා. ඉන්දියාව අපේ ඥාතියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා වගේ අපේ ඥාතියා. සමහරවිට අපිට ප්‍රශ්න එන්නෙ ඥාතීන්ගෙන් තමයි වැඩිපුර. ඥාතියා වුණත් ඉන්දියාව පාලනය කරගෙන ඉන්දියාවෙන් එන පීඩන තර්ජන බලපෑම් කළමනාකරණය කරගෙන වැඩ කරන්න අපිට අවශ්‍යයි, ඒක එක ඉතාමත් ම අමාරු දෙයක්. අදත් ඒ අමාරුකම තියෙනවා. යුද්ධය වේලාවෙදී මේ අපහසුතාවය අපිට අතිශයින්ම දැනුණා, නමුත් ඒ අපහසුතාවය කළමනාකරණය කර ගැනීමේ ගෞරවය හිමිවෙන්න ඕන අපේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට. ආර්ථිකය පිළිබඳව බරපතල වැටීමක් තියෙන වෙලාවක් මේ තත්ත්වයෙන් රට ඉස්සරහට යන්න ඔබතුමාගේ පැමිණීම පුනරාගමනය මහා ශක්තියක් කියලා අපි කල්පනා කරනවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,
මගේ ප්‍රමුඛතාවය ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජයේ සියලු දෙනාගේ ප්‍රමුඛතාවය වන රටේ පොදු ජනතාවගේ ප්‍රමුඛතාවය තමයි, අපේ ප්‍රමුඛතාවය වෙන්නේ. මම මෙතන අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කළත්, මේ රටේ ජීවත්වන ගොවියා, ධීවරයා, කම්කරුවා වෘත්තීයවේදීන් රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුදෙනාම තමුන්ගේ සගයෙක් මුදල් අමාත්‍ය ධූරයේ ඉන්නවා කියලා හිතාගෙන අපිට මග පෙන්වන්න. ඒ වගේම අපිත් එක්ක වැඩ කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවෙදී කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මාධ්‍යවේදීන්නුත් වෘත්තීය සමිති සියල්ලගෙන්ම රජය වෙනුවෙන් ඉල්ලා සිටිනවා, අපිත් එක්ක මේ කටයුත්ත, මේ බැරෑරුම් අවස්ථාවේදී උදව් කරන්න කියලා. මේ බැරෑරුම් කියන වචනය කිව්වේ මගේ අදහස නෙමෙයි අද හුඟ දෙනෙක් හිතනවා මේ රට බැරෑරුම් තත්ත්වයකට පත්වෙලා කියලා. අපේ නායක හාමුදුරුවොත් ඒ විදිහටම කිව්වා. නමුත් අපි මීට වැඩිය බැරෑරුම් තත්ත්වවලට අපි මුහුණදීලා තියෙනවා. මීට වැඩිය දේශපාලන අභියෝගවලින් අපි ජය ගත්තා. ඒකට ප්‍රධානම හේතුව වුණේ අපිට සහයෝගය ලබා දීපු සියලු දෙනා. මේක ලොකු අමාරු කාර්යයක් අපි අභියෝග කරමු. අපි සියලු දෙනාම එකට වැඩ කරමු. පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපගේ ප්‍රමුඛතාවයයි. පියෙක්ට වගේ සමහර වෙලාවට අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණාට අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.