ක්‍රීඩාවේ විනය වෙනුවෙන් ගන්න තීන්දු හකුලා ගන්නේ නෑ

කෙතරම් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් වුණත්, රටේ කීර්තිනාමයට අගෞරව කරනවානම් අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා.. - නාමල් රාජපක්ෂ

by Staff writer 08-07-2021 | 9:01 PM

COLOMBO (News 1st) - තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේ ය.

අපි පිළිගත යුතු කාරණය තමයි ඔව්, යම් පසුබෑමක් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ. ඒ පසුබෑමට හේතු සාධක බොහොමයක් තියෙනවා. 1996න් පටන් ගත්තම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අපි ලෝක කුසලාන 04ක අවසන් මහා තරගවලට ආවා. ලෝක කුසලාන දෙකක් අපි ජයග්‍රහණය කෙරුවා. හැබැයි මේ හැම කාලසීමාවක් තුළම පාසල් ක්‍රීඩාවේ ඉඳන් ඩොමෙස්ටික් ක්‍රිකට්වලට, ශ්‍රී ලංකා සංචිතයත් කියන කාරණා දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. ක්‍රීඩා කිරීමේ කන්සිස්ටන්සි එකක් තිබ්බා. යම්කිසි ක්‍රීඩකයෙකුට සාධාරණ කාලයක් දුන්නා ඒ තරගවලට සම්බන්ධ වෙන්න තමන්ගේ දක්ෂතා අතරට එන්න. හැබැයි අද කණගාටුවට කාරණය තමයි ගරු මන්ත්‍රීතුමනි ඒ ස්ට්‍රකචර් එක 2014න් පස්සේ, 2014 ලෝක කුසලාන ජයග්‍රහණයත් එක්ක ක්‍රියාත්මක වුණේ නෑ. ශ්‍රී ලංකා සංචිතයේ නැත්නම් ජාතික කණ්ඩායමේ දස්කම් දක්වලා එහෙම නැත්නම් දස්කම් දක්වන්න බැරි වුණොත් ඒ ක්‍රීඩකයට අතරමැදි අවස්ථාවක් නෑ. මේ දිගු කාලීන සැලැස්මක් නොමැති වීම තුළ, අපිට විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ දිගු කාලීන සැලැස්මක් නොතිබීම නිසා. කණ්ඩායමේ නායකයෝ 10 දෙනෙක් අත්හදා බලලා තියෙනවා මේ අවුරුදු හතර හමාර පහක කාල සීමාව තුළ. අවුරුදු හතරක් ඇතුළත ක්‍රීඩකයින් එකසිය පස් දෙනෙක්ට අවස්ථාව දෙන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි අවසාන ප්‍රතිඵලය තමයි ඒ කිසි කෙනෙක්ට තමන්ගේ පොසිෂන් එකේ සෙට්ල් වෙන්න අවස්ථාව ලැබුනේ නෑ. ඒකට අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කරා කියලා පළක් වෙන්නේ නෑ. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ ෆස්ට් ක්ලාස් ඉයර් එකට උඩින් ප්‍රොවින්ෂියල් ටූනමන්ට් එකක් කණ්ඩායම් පහක ගේන්න. ස්කූල් ක්‍රිකට් ස්ට්‍රක්චර් එක මහේල ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ ස්ට්‍රක්චර් එක මේ වෙනකොට හදලා තියෙනවා. කෝචිං ස්ට්‍රක්චර් එකෙත් යම් යම් වෙනස්කම් වෙයි. අපි උත්සාහ කරනවා දේශීය පුහුණුකරුවෝ ගේන්න. ක්‍රීඩාවේ ජයග්‍රහණවලට අපිට යන්න පුළුවන්. හැබැයි සාධාරණ කාලයක් මේ තරුණ ක්‍රීඩකයන්ට අපි දෙන්න ඕනේ. හැබැයි සාධාරණ කාලයක් දෙනවා කියන එකේදි අසීමිත කාලයක් නෙවෙයි. ඕනෑම ක්‍රීඩකයෙක් ක්‍රිකට් වෙන්න පුළුවන්, මලල ක්‍රීඩා වෙන්න පුළුවන් විනය කඩ කෙරුවොතින් ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා විතරක් නෙවෙයි, ඒ ගන්න තීන්දු කිසිම හේතුවක් මත හකුලා ගන්න අපි කටයුතු කරන්නේ නෑ. ඒ ක්‍රීඩකයා ලෝකයේ කෙතරම් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක් වුණත් රටේ කීර්තිනාමයට අගෞරව වෙන්න කටයුතු කරනවා නම් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග අපි ගන්නවා.