බාලවස්කාරිය මුදලට විකිණූ අයට වැඩ වරදින ලකුණු

බාලවස්කාරිය මුදලට විකිණූ අයට වැඩ වරදින ලකුණු: හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාත් රිමාන්ඩ්..

by Staff writer 06-07-2021 | 9:25 PM

COLOMBO (News 1st) - 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනය සඳහා මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයෙකු ලෙස කටයුතු කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු එම සිද්ධිය සම්බන්ධයෙන් අද හෝ ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් කිරීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ලබන 09 වැනි දා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. එම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා, බලංගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් හා කළුතර ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ සිය සේවා දායකයන් සිද්ධිය සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් ප්‍රකාශ ලබාදීමට අපේක්ෂා කරන බවය. අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර වෛද්‍යවරයා සහ එම දැරිය හෝටලය කරා ගෙන ගිය රියැදුරු ලබන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ ය. මෙම දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන සිටින අතර ඔහු එරට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 34කි. මෙම සිද්ධියට අදාළව මාලදිවයින් ජාතිකයෙකු ද අත්අඩංගුවට ගත් අතර මොහොමඩ් ආශ්මලී නම් ඔහු මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණි.