එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පිරිස 3,104,966 ක්

එන්නතක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් ගණන 3,104,966 ක්..

by Staff writer 06-07-2021 | 9:16 PM

COLOMBO (News 1st) - දිවයින පුරා පිහිටි තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයක මෙන්ම තෝරාගත් මධ්‍යස්ථාන කිහිපයකදී කොවිඩ් එන්නත් ලබා ගැනීමේ අවස්ථාව අදත් ජනතාවට සලසා දී තිබුණි.

බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයකුට ඊයේ(05) සිට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30 ත් සවස 4.30 ත් අතර කාලය තුළ අදාළ ස්ථානවලින් පළමු මාත්‍රාව හෝ දෙවැනි මාත්‍රාව ලබාගත හැකියි. ඊයේ මෙරට පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබා දී ඇත. මේ වනවිට කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 3,104,966කි. මේ අතර යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් කොළඹ 01 සිට 15 දක්වා පදිංචි අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට ආරම්භ කරන බවය. එන්නත්කරණ දිනය හා ස්ථානය SMS පණිවුඩයක් මගින් දැනුම්දෙන බව ද ඔහු සඳහන් කළේ ය.