රසායනික පොහොර තහනමේ නීතිමය තත්ත්වය ගැන ගැටලුවක්

රසායනික පොහොර තහනමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක්

by Staff writer 05-07-2021 | 9:16 PM

COLOMBO (News 1st) - රසායනික පොහොර තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය පසුගිය මැයි 06 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ගැටලුවක් මතු වී තිබේ.

මේ ගැටලුව මතු වී ඇත්තේ, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේදී ගැසට් නිවේදනය පිළිබඳව හෙළි වූ කරුණු මතයි. මැයි මස 06 වැනි දා රසායනික පොහොර තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කැනීම් කර පොළොවෙන් ලබා ගන්නා නයිට්‍රේට් ද තහනම් කර ඇතැයි පොහොර ලේකම් කාර්යාලය පෙන්වා දුන් බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ, දැනටමත් ටෙන්ඩර් කර ඇති කාබනික පොහොර තොගයක් ගෙන්වා ගැනීමට මේ නිසා නොහැකි වන බව පොහොර ලේකම් කාර්යාලය පෙන්වා දුන් බවයි. මේ අනුව අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී සංශෝධනය කිරීමට හෝ අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවනු ඇති. අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ, ගැටලුව නිවැරදි කිරීමට මුදල් අමාත්‍යාංශය එකඟ වූ බවය. රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජික පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
දැන් මේක අවුලක්නේ. මේක තමයි නීතිය. දැන් අපි රජයට කියන්නේ ඔව් දැන් මෙහෙම හරි තීරණයක් අරගෙන මහ විශාල ගැටලුවකට හිරවෙලා ඉන්න ගොවි මහත්තුරුන්ගේ ප්‍රශ්නේ විසඳන්න දැන් ආනයනය කරනවා කිව්වානේ. දැන් මේ ආනයනය කරනවා කියන්නේ ඛනිජමය පොහොරනේ. රසායනික පොහොර ආනයනය කරන්න බෑ කියන එකනේ කියන්නේ. එතකොට මෙතන තියෙන්නේ ඛනිජමය පොහොර මහ කන්නයට ගේනවා කියලා. එතකොට අපිට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ මේකයි, එතකොට මේ ගැසට් එක සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.