අනුලාදේවී චෛත්‍ය භූමියේ අනවසර ඉදිකිරීමක්?

පුරාවිද්‍යා අවසරයකින් තොරව මිහින්තලේ අනුලාදේවී චෛත්‍යට අයත් භූමියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වැඩ අල්ලයි..

by Staff writer 05-07-2021 | 10:24 PM

COLOMBO (News 1st) - මිහින්තලේ අනුලාදේවී චෛත්‍යට අයත් භූමියේ පුරාවිද්‍යා අවසරයකින් තොරව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල පුරා තිබේ.

අනුලාදේවී චෛත්‍යය, මිහින්තලේ, පොරසංකුලම හා මහ කනදරාව අතර පිහිටි ක්‍රි.පූ. 02 වන සියවසේ දී පමණ ඉදිකරන ලදැයි සැලකෙන විහාරයකි. අනුලාදේවී චෛත්‍යයට අයත් භූමිය ලංකාවේ ප්‍රථම භික්ෂූණීය වන අනුලා දේවිය හා තවත් පිරිසක් පැවිදිව වැඩ වාසය කළ විහාරස්ථානයක් ලෙස ද සැලකෙන අතර මෙහි තිබී අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් ස්ථූපයක නටඹුන් හා මැටි බඳුන් කොටස් පබළු, මැටි රූප කොටස්, ගොඩනැගිලි අවශේෂ ආදී පුරාවස්තු රැසක් හමු වී ඇත. භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කැනීම් සිදු කර ගොඩනැගිල්ලක් සෑදීම සඳහා වැඩ ආරම්භ කර ඇත. අක්කර 43කට ආසන්න භූමියේ අක්කර දෙකකට ආසන්න බිමක් ඩෝසර් කර විශාල ප්‍රමාණයක් ගස් වැල් ඉවත් කර අඩි 5-6 පමණ වලවල් හාරා තිබේ. මේ සම්බන්ධයෙන් මිහින්තලේ කලාප භාර පුරාවිද්‍යා නිලධාරිවරයා මිහින්තලේ පොලීසියට අද පස්වරුවේ පැමිණිල්ලක් සිදු කර ඇත.