හොරු කවදාවත් තමන්ගේ රැහේ එකෙකුට දඬුවම් කරන්නේ නෑ..

වික්‍රමසිංහලා, රාජපක්ෂලා, ඇලෝෂියස්ලා එකම කටවුට් එකේ එකට ගහන්න පුළුවන් එකම වර්ගයේ කට්ටිය - අජිත් පී. පෙරේරා

by Staff writer 04-07-2021 | 10:05 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි පාර්ලිමේන්තුවට පැමිණිම පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු නියම මහ මොළකරුවෝ හොයලා දඬුවම් කරනවා කියලා. ඒ වගේම මහ බැංකු බැඳුම්කරු වංචාව ගැන වගකිව යුතු ඒ පට්ට හොරුන්ට දඬුවම් කරනවා කියලා. හැබැයි අද වෙනකොට ඒ දඬුවම් කරනවා වෙනුවට ඒ හොරුන්ට සලකන තැනකට ඇවිල්ලා ඉන්නේ. අර රන්ජන් හිටපු කාලේ කිව්වා මල්ලි මේ ඔක්කොම හොරු කියලා. ඒක ඇත්ත. රාජපක්ෂලා, වික්‍රමසිංහලා ගජමිතුරෝ. ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට මේ වැඩකටයුතු වෙනවා කියලා බොහොම පැහැදිලිව පේනවා. 2015 ආණ්ඩුව අසාර්ථක වෙන්න හේතුවත් වික්‍රමසිංහ මහත්තයා ප්‍රසිද්ධියේ මොනවා කිව්වත්, හදවතින් හිටියේ රාජපක්ෂලාත් එක්ක. හොරකම්, වංචා, දූෂණ, කලින් සිදුවුණු ඒවත්, වික්‍රමසිංහ මහත්තයා අගමැති කාලේ සිදු වෙච්ච ඒවත්, එකක් පිළිබඳවත් තර්කානුකූල අවසානයකට ගිහිල්ලා වරදකරුවන්ට දඬුවම් දෙන තැනකට වැළැක්වුවේ වික්‍රමසිංහලා වෙනුවෙන්, ඇලෝෂියස්ලා වෙනුවෙන් ඒ රාජපක්ෂලාගේ උවමනාවට. හොරු කවදාවත් තමන්ගේ රැහේ එකෙකුට දඬුවම් කරන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තීරණාත්මක අවස්ථාවන් මගහැරලා 20 වැනි සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ හිටියේ නෑ තමන්ගේ මතේ ප්‍රකාශ කරන්න, කොළඹ නගර ව්‍යාපෘතිය චීනට පාවා දෙන වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නෑ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. තමන්ගේ ගජ මිතුරන්ට අවශ්‍ය දේවල් හරියටම කළාට පස්සේ ඕං මං ආවා කියලා පාර්ලිමේන්තුවට එන එකේ අපිට සම්බන්ධයක් පේනවා. වික්‍රමසිංහලා, රාජපක්ෂලා, ඇලෝෂියස්ලා, එකම කටවුට් එකේ එකට ගහන්න පුළුවන් එකම වර්ගේ කට්ටිය.