වසරේ මුල් කාර්තුවේදී බදු ආදායම්වල අඩු වීමක්

වසරේ මුල් කාර්තුවේදී සුරාබදු ඇතුළු බදු ආදායම්වල අඩු වීමක් - මුදල් අමාත්‍යාංශය

by Staff writer 04-07-2021 | 9:15 PM

COLOMBO (News 1st) - මේ වසරේ මුල් කාර්තුවේදී විශේෂ භාණ්ඩ බද්ද හා සුරාබදු ඇතුළු බදු ආදායම්වල අඩු වීමක් වාර්තා වන බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.

ඒ අනුව පසුගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව විශේෂ භාණ්ඩ බද්ද රුපියල් බිලියන 3.6 කින් මේ වසරේදී අඩු වී ඇත. ඒ අනුව ගිය වසරේ මුල්කාර්තුවේ රුපියල් බිලියන 24.1ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මේ වසරේදී බිලියන 20.5ක් දක්වා අඩුවිය. මෙලෙස රාජ්‍ය බදු ආදායම් පහළ යමින් තිබියදී මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව ලෙස සැලකෙන භාණ්ඩාගාර බැඳුම්කර වංචාවට සම්බන්ධ ඇතැමුන්ට නැවත ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට මග පෑදී ඇත. රජය විසින් නැවත ස්කාගාරයක් ආරම්භ කිරීමට අවසර දී ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිට දැනට ඇප මත මුදා හැර සිටින අර්ජුන ඇලෝෂියස් හටයි. ඔහු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා ද වේ.