බස්නාහිර 30ට වැඩි අයට හමුදා රෝහල්වලින් එන්නත..

බස්නාහිර අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට හෙට(05) සිට ත්‍රිවිධ හමුදා රෝහල්වලදී කොරෝනා මර්දන එන්නත – යුද හමුදාපති

by Staff writer 04-07-2021 | 7:23 PM

COLOMBO (News 1st): කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අයත් තෝරාගත් රෝහල්වල හෙට(05) සිට එන්නත්කරණය ආරම්භ කෙරේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ දිනපතාම එම රෝහල් වෙත පැමිණීමෙන් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට සයිනෝෆාම් එන්නත ලබාගත හැකි බවය. ඒ අනුව, මෙහි ප්‍රධාන එන්නත්කරණ වැඩසටහන නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් ආරම්භ කෙරේ. මීට අමතරව, වේරහැර හා පනාගොඩ යුද හමුදා රෝහල්වලදී එන්නත ලබාගත හැකි වේ. කොළඹ, ගුවන්පුර ගුවන් හමුදා රෝහල හා රත්මලාන, කටුනායක හා ඒකල ගුවන් හමුදා කදවුරු ආශ්‍රීතව සහ වැලිසර නාවික හමුදා කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කොරෝනා එන්නත්කරණය සිදුකෙරෙනු ඇති. මීට අමතරව යාපනය, මුලතිව්, කිලිනොච්චි, අනුරාධපුර, ගාල්ල, මාතර සහ දියතලාව ප්‍රදේශවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ද හෙට සිට තෝරාගත් හමුදා රෝහල් සහ කඳවුරුවලදී එන්නත ලබාගත හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. මාතර යුද හමුදා කඳවුර, ගාල්ල කොටුව යුද හමුදා කඳවුර, අනුරාධපුර වික්ටරි යුද හමුදා රෝහල, දියතලාව යුද හමුදා රෝහල, කිලිනොච්චි, මුලතිව් හා යාපනය යුද හමුදා රෝහල්වලදි එන්නත්කරණය සිදුකෙරෙනු ඇති. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බව, යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.