by Staff writer 02-07-2021 | 4:43 PM
COLOMBO (News 1st) - අවුරුදු 30 ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(02) සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ සියයට 60කටත්, ගම්පහ සියයට 47කටත්, කළුතර සියයට 34කටත්, කොරොනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඇණවුම් කර ඇති එන්නත් ලැබීමත් සමග විධිමත් සැලැස්මක් යටතේ සැප්තැම්බර් මාසයට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබා දීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එන්නත්කරණය හා ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා කියා සිටියේ දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය ඉක්මණින් ලැබෙනු ඇති බවය.
ඒ අනුව ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාගෙන ඇති සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබා දීමට සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අයෙකුට සති 45 ක් යනතෙක් එහි දෙවන මාත්‍රාව ලබා ගැනීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති බව ද කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදී පෙන්වා දුන්නේය.
පසුගිය සඳුදා සිට රෝහල් තුළදී එන්නත්කරණය ඇරඹීමත් සමග ඉතා කෙටි කාලයකදී විශාල සංඛ්‍යාවකට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට හැකිව තිබේ.
දිවයින පුරා එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.