ජෝර්ජ් ස්ටුවර්ට් සභාපති දිලිත් ජයවීර ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ නොහැකියි. - අධිකරණය දන්වයි

by Staff writer 02-07-2021 | 4:50 PM

COLOMBO (News 1st) : ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම වළක්වමින් එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමට පුළුල් අතුරු ඉන්ජන්ෂන් තහනමක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද(02) ප්‍රතික්ෂේප කර තිබේ.

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනුකර තිබූ නඩුව සම්බන්ධයෙන් අතුරු ඉන්ජන්ෂන් තහනම් නියෝගය කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද ප්‍රකාශයට පත් කළේ ය. මෙය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා පෙන්වා දුන්නේ, මහජනතාවගේ සෞඛ්‍ය බලපාන හා ඔවුන් උනන්දුවක් දක්වන කාරණා පිළිබඳව මත ප්‍රකාශ කිරීමට හා සත්‍ය කරුණු මත පදනම්ව සාධාරණ විවේචන ඉදිරිපත් කිරීමට මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය වෙත පැවරෙන වගකීම අත්හළ නොහැක්කක් බවය. අපහාසාත්මක ප්‍රකාශයක්, විශේෂයෙන් ව්‍යංගයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කුමක්ද යන්න අධිකරණයක් ඉදිරියේ වුවද බෙහෙවින් විවාදාත්මක ප්‍රශ්නයක් වන අතර එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී සාධාරණ පුද්ගලයාගේ පරීක්ෂණය යොදා ගනිමින් ප්‍රශ්නගත ප්‍රකාශ අපහාසාත්මක වන්නේද යන්න සම්බන්ධයෙන් නිගමනයකට බැසීමට අධිකරණයකට පහසු කාර්යයක් නොවන බව ද දිසා විනිසුරුවරයා අවධාරණය කළේ ය. තවදුරටත් දිසාවිනිසුරුවරයා පෙන්වා දී තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් 03 විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වන අතර මාධ්‍ය මෙහි සිව්වන අංගය බව සමාජයේ මුල් බැසගෙන ඇති බවය. මෙය ව්‍යවස්ථාවේ භාෂණයේ නිදහස පිළිබඳ සඳහන් 14 .1 අ ව්‍යවස්ථාවේද අඩංගු වන බව ද පෙන්වා දී තිබුණි. පැමිණිලිකාර සමාගමේ සභාපති වන දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් මෙම නඩුවේ පාර්ශ්වයක් ලෙස ඇතුළත් නොකොට ඔවුන්ට ද ආවරණයක් ලබාගැනීමට අයිතිවාසිකම් නොමැති බවට විත්තිකාර පාර්ශවය වන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම මෙම නඩුවේදී නැගූ තර්කය දිසා අධිකරණය පිළිගත්තේ ය. දිසා විනිසුරුවරයා තවදුරටත් කියා සිටියේ, පැමිණිලිකරුවෙකු නොවන පැමිණිලිකාර සමාගමේ සභාපති දිලිත් ජයවීර සහ සෙසු නිලධාරීන්ට ද අවරණයක් ලබාගැනීමට කූඨ උත්සාහයක් ගෙන ඇති බව විත්තිය පෙන්වා දී ඇති බවයි. පැමිණිල්ල මගින් ඉල්ලා ඇති ඉතාමත් පුළුල් ලෙස අතුරු ඉන්ජෂන් තහනමක් නිකුත් කිරීමට නීතියෙන් හැකියාවක් නොමැති බව දිසා විනිසුරුවරයා අවධාරණය කළේ ය. කෙසේ වෙතත්, පැමිණිලිකාර සමාගම විසින් කොවිඩ් 19 රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවට ආනයන කිරීම විකිණීම බෙදාහැරීම සම්බන්ධයෙන් පමණක් කිසිදු අපහාසාත්මක ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස මෙහිදී නියෝග කෙරිණි.