ජනපති ගොවි නියෝජිතයින් හමුවෙයි

පොහොර ආනයනයට වැය කරන රු. මිලියන 80,000 ගොවියාට ලැබීමට සලස්වනවා - ජනපති ගොවි නියෝජිතයින් හමුවේ කියයි

by Staff writer 01-07-2021 | 8:42 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(01) ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිතයින් හමුවිය.

එහිදී කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් පසු රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව ගොවි නියෝජිතයින් දැනුවත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය ගොවීන් ලක්ෂ 11 ක්, ගොවි සංවිධාන 17,000 ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563 කින් සමන්විත බවයි. කාබනික පොහොර ආනයනයට ගත් පියවර කිසි විටකත් පසුපසට නොගන්නා ලෙස ගොවි නියෝජිතයන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ, වල්නාශක, කෘමිනාශක ඇතුළුව කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය රසායනික පොහොර ලබා දුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බවය. ගොවීන් මෙතෙක් ලබා ගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන අතර ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මගින් ලබා දී ගොවියා අපහසුතාවයට පත් වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ, බෝනොවන රෝගවලින් අනාගත පරපුර බේරා ගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කරන රුපියල් මිලියන 80,000ක මුදල මෙරට අහිංසක ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බවය. පසුගිය ආණ්ඩු සමයේ ඇණහිටි ගොවි රක්ෂණය අද සිට යළි ක්‍රියාත්මක කරමින් ගොවි රක්ෂණ සැකැස්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජනාධිපතිවරයාට භාරදුන්නේ ය. ගොවි විශ්‍රාම වැටුප් ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු කර ඇති බව ද මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා අනාවරණය කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, වැව් අමුණු ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම්වලට එළඹීමේදී මෙතෙක් ගොවි සංවිධානවලට ලක්ෂ 20කට සීමා වී තිබූ කොන්ත්‍රාත් මුදල ලක්ෂ 100 ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදුන් බවය.