ගිනිගත් නැවේ දේශීය නියෝජිතයාට ඇප

ගිනිගත් නැවේ දේශීය නියෝජිත සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට ඇප

by Staff writer 01-07-2021 | 10:43 PM

COLOMBO (News 1st) - අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජීව සමරනායක මහතා දැඩි කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේය.

නඩුව ජුලි මස 15 වැනිදා කැඳවීමට නියෝග කර තිබේ. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න මැඩපැවැත්වීමට නිසි පියවර ගැනීමට අපොහොසත් වූ හා රසායනික ද්‍රව්‍ය කාන්දු වෙමින් තිබූ නෞකාවට පසු විපරමකින් තොරව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර දුන් පිරිසට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. පෙත්සම ගොනුකර ඇත්තේ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ ජෙරාජ් ජෙගජීස්වරන් මහතායි. මේ අතර අදත් මාරවිල, දකුණු මුදූකටුව වෙරළ තීරයට මියගිය කැස්බෑ සිරුරක් ගොඩ ගසා තිබුණි. ආනවිලුන්දාව වනජීවී කාර්යාල නිලධාරීන් සැක පල කරන්නේ මෙම කැස්බෑවා දිනකට පමණ පෙර මිය යන්නට ඇති බවය. වෙන්නප්පුව, උල්හිටියාව මුහුදු තීරයට ද අද මිය ගිය කැස්බෑ සිරුරක් ගොඩ ගසා තිබුණි. මේ අතර වාද්දුව, තල්පිටිය මුහුදු වෙරළට ඩොල්ෆින් සත්වයෙක් ගොඩ ගසා තිබුණේ අද පස්වරුවේදීය.