by Sagarika Chathumali 01-07-2021 | 4:38 PM
COLOMBO (News 1st) : පහළොස් හැවිරිදි දැරිය ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (03) අත්අඩංගුවට ගත් මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති ඇතුළු 3 දෙනා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඊයේ (30) අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ දැරිය අලෙවි කිරීම සඳහා සහය දුන් තවත් පුද්ගලයෙකු ද විය.
දැරිය අලෙවි කිරීම සඳහා සහය දුන් පුද්ගලයා මෝටර් රථය ද සමග වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබුණේ, තවත් කාන්තාවක එලෙස අලෙවි කිරීම සඳහා රැගෙන විත් සිටි අවස්ථාවේදී ය.
ගල්කිස්සේදී 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීම, මිලදී ගත් හා ඊට අනුබල දීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 21 කි.
මේ අතර දැරිය මිලදී ගත් තවත් පුද්ගලයින් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (01) උදෑසන පැවසී ය.
මීට පෙර දැරිය මිලදී ගත් හා ඊට අනුබල දුන් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගත් අතර එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර දැරියගේ මව, දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ, චීවරධාරියෙක්, දැරිය යම් යම් පුද්ගලයින් වෙත සැපයූ ත්‍රිරෝද රථයක රියැදුරෙක් සහ මෝටර් රථ රියැදුරෙක් ද වූහ.
ඊට අමතරව දැරිය අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයට වෙළඳදැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර විය.
අන්තර්ජාලය ඔස්සේ මෙම බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ 35 හැවිරිදි ප්‍රධාන සැකකරු පසුගිය ජුනි 7 වනදා ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.
සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දැරිය රඳවා ගෙන ඇයගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ කරමින් ලිංගික කටයුතු සඳහා අලෙවි කර තිබූ අතර එදින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් දැරියගේ මවගෙන් ද ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හුමවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.