නැවෙන් වූ හානියෙන් මුහුදු ජීවීන් 200ක් මරුට

X-Press Pearl නැවෙන් පරිසරයට වූ හානිය නිසා මුහුදු ජීවීන් 200ක් මියයයි - නීතිපති අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 30-06-2021 | 5:35 PM

COLOMBO (News 1st) - එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් සිදුවු පරිසර හානියෙන් කැස්බෑවන් 176ක්, ඩොල්ෆින් සත්වයින් 20ක් හා තල්මසුන් 04 දෙනෙකු මියගොස් ඇති බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද(30) දැනුම් දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ එම සතුන් මියගොස් ඇත්තේ ඇතැමුන් පවසන පරිදි වාරකන් සමයේ සිදුවන ස්වභාවික හේතු මත නොව රසායනික ද්‍රව්‍ය මුහුදට එක්වීමෙන් බව 39 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් තහවුරු කරනු ලැබූ බවය. පශු වෛද්‍යවරුන් විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව ගින්න හට ගැනීමෙන් මුහුදු ජලයට එක් වූ රසායනික කාන්දුවීම් මියගිය සතුන්ගේ මරණවලට හේතු වී ඇති බව තහවුරු වී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේ මෙරට මුහුදු සීමාවේදී පසුගිය මැයි මස 20 වැනිදා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමිනි. නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචන අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳවනු ලැබුවේය. නැව හිමි සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ නිලධාරීන් තුන්දෙනෙකු එම නැවෙන් ඔවුන් වෙත ලැබුණු ඊ-මේල් පණිවුඩ මකා දමා ඇති බව අනාවරණය වී ඇති බව ද එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය. නැවේ කපිතාන්වරයා ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සන්තකයේ තිබූ ජංගම දුරකතනවලින් සොයාගත් ඡායාරූප හා වෙනත් දත්ත ඔස්සේ ඉදිරි විමර්ශන සිදු කරන බව ද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අනාවරණය වන තොරතුරු අනුව යම්කිසි වරදක් සිදුකර ඇත්නම්, එම කාර්යය මණ්ඩලයට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසුවේය. මාධව තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ එම නැවේ ගින්න ආරම්භ වීම සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා දේශීය නියෝජිතායතනය, නැව ක්‍රියාකරවන්නා, සත්‍ය තොරතුරු දිගින් දිගමට ශ්‍රී ලංකා බලධාරින්ගෙන් වසන් කර ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය. විමර්ශනවල වැඩිදුර ප්‍රගතිය ජුලි මස 13 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළාය.