රටේ ආර්ථිකයට මොකද වෙන්නේ ?

රටේ ආර්ථිකයට මොකද වෙන්නේ?: විශේෂ විමසා බැලීමක්..

by Staff writer 29-06-2021 | 10:15 PM

COLOMBO (News 1st) - අපේ රටේ විදේශ සංචිත මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ අගයකට පහත වැටී තිබේ.

මේ සංචිතයට රත්‍රං සංචිතයත් ඇතුළත් ය. විදේශීය වෙළෙඳපොළෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය අපි ඉදිරි දින කිහිපයේ ආපසු ගෙවිය යුතුයි. මේ වසර තුළ ඩොලර් බිලියන 2.4 ක විදේශීය ණය ආපසු ගෙවීමට ඇතැයි මහ බැංකුව පවසයි. රජය දැන් කියන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ලබා නොගන්නා බවයි. ඒ වෙනුවට රජය අනුගමනය කරන්නේ ආයෝජන ආකර්ෂණය හා සමීප රටවලින් විනිමය හුවමාරු පහසුකම් ලබා ගැනීම ය. මහ බැංකු අධිපතිවරයා ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, චීනයෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකම හැරුණු විට ඩොලර් බිලියන 4 ක සංචිත අප සතුව ඇති බවයි. මේ අතර ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක් සහ බිලියන 1 ක් බැගින් විනිමය හුවමාරු පහසුකම් දෙකක් යටතෙත්, බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකම් ලබා ගැනීමට දැන් සැලසුම් කර තිබේ. මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාජික රටවලට ලබාදෙන මුදලක් වන ඩොලර් මිලියන 800ක් ද ලැබීමට නියමිත බවය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් හා අපනයනවලින් මහ බැංකුව තවත් මිලියන 700ක් මේ වසර තුළ ලබා ගැනීමට අපේක්ෂා කරයි. මේ වනවිට මහ බැංකුව සමග සාකච්ඡා කර මෙරට බැංකු පද්ධතිය අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා විදේශ විනිමය යෙදවීම සීමා කිරීමේ පියවර ගෙන ඇති බව ද මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනයෙන් අනාවරණය විය. ? එහෙත් ඇත්තටම වෙළෙඳපොළේ තත්ත්වය කුමක් ද? අද(29) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 202 යි සත 89 ක් විය. නමුත් ජනතාව පවසන්නේ, මෙම මුදලට ඩොලර් ලබා ගැනීමට නොමැති නිසා විවිධ පාර්ශ්ව වලින් රුපියල් 220 ත් 230 ත් අතර මුදලකට ඩොලරය සංසරණය වන බවයි. කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි රටේ බරපතල ඩොලර් ප්‍රශ්නයක් නැත්නම් ඊයේ කැබිනට් මණ්ඩලය රටට ඩොලර් ගෙන්වා ගැනීම සඳහා ආකර්ශනීය පියවර ගන්නේ ඇයි ? කැබිනට් තීරණ අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට, ජාතික ඉතිරී කිරීමේ බැංකුවට හා 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි මුල්‍ය නොවන සමාගම්වලට ශ්‍රී ලංකාව නිකුත් කරන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීමට අනුමැතිය ලබා දී ඇත. දේශීය සමාගම්වලට විදේශ විනිමය රැස්කර ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් ඔවුන් නිකුක් කරන විදේශ මුදලින් නම් කළ කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබුණේ අර්බුදයට තවත් පිළියමක් ලෙසය. විදේශ මුදල් රට තුළට ගෙන්වා ගැනීම දිරිගැන්වීම සඳහා විශේෂ තැන්පතු ගිණුම්වලට වැඩි පොලියක් ලබා දීමටත්, රටින් පිටත සිදුකරන ප්‍රේෂණ පාලනය කිරීමේ රෙගුලාසි දීර්ඝ කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය. ප්‍රශ්නය,
රටක අඩුම ගාණේ මාස තුනකට අවශ්‍ය සංචිත තියෙන්න ඕන. හැබැයි අපේ සංචිතය අඩුවෙලා කියලා වාර්තා වෙනවා.ඒ කියන්නේ මාස තුනකට අඩු වුණොත් ඒක රතු තත්ත්වයක් හැටියට තමා සලකා බලන්නේ. ඒක ගැන අමාත්‍ය මණ්ඩලේ දැනුවත් ද?
පිළිතුර, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
පැහැදිලවම හොඳට ම දැනුවත්. අපි ඒ ප්‍රශ්නය සම්බන්ධව නිරන්තරයෙන් සාකච්ඡා කරනවා.එය විසඳගන්න වැඩපිළිවෙළවල් ගණනාවක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි ඔය කියන රතු තත්ත්වය නෑ.හැබැයි අපි ඒ අවධානම බැහැර කරලා නෑ.මාස තුනක අපේ සංචිත දැනට තියනවා. මාස තුනකට ඇති වෙන්න.හැබැයි මේක පවත්වාගෙන යෑම අභියෝගයක්. සංචිතයන් සම්බන්ධව අර ඔබතුමා කිව්වා වාගේම අපේත් ඒ ප්‍රශ්නය තිනෙවා.හැබැයි අපි පුළුවන් තරම් අනවශ්‍ය භාණ්ඩ ගේන එක නතර කරලා තියෙනවා.