by Staff writer 28-06-2021 | 10:19 PM
COLOMBO (News 1st) - චීනයේ සිනොවැක් එන්නත් මෙරට නිපදවීමේ ව්‍යාපෘතියේදී ඒවා මිලදී ගන්නා, මිල හෙළි නොකිරීමේ එකඟතාව පිළිබඳව මේ වනවිට පුළුල් සංවාදයක් ඇති වී තිබේ.
කොළඹ චීන තානාපති කාර්යාලය ඊට ප්‍රතිචාර දක්වමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ අනාවරණය නොකිරීමේ ගිවිසුම් ලොව සියලුම ඖෂධ සමාගම්වල ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අංගයක් බවයි.
එම කොන්දේසියට අනුව සිනොවැක් එන්නතේ මිල පිළිබඳව අනාවරණය කළහොත් එම ගිවිසුම නිෂ්ප්‍රභ කිරීමට එය හේතුවක් වනු ඇති.
චීන සිනොවැක් නිෂ්පාදකයින් සමග අවබෝධතා ගිවිසුමට එළඹ ඇති මෙරට දේශීය නියෝජිතයා වන - කෙලුන් ලයිෆ් සයන්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්- හි සභාපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට මේ මස 13 වැනි දා යැවූ ලිපියක් මගින් මෙම කොන්දේසිය පිළිබඳව දන්වා තිබේ.
මීට අමතරව එන්නත් මාත්‍රා මිලියන 13 ක අනිවාර්ය ඇණවුමක් ලබාදීම සහ පළමු මාත්‍රා මිලියන 03කට අත්තිකාරම් ගෙවීම ද සිනොවැක් නිෂ්පාදකයින් වන සිනොවැක් බයෝටෙක් ආයතනය ඉල්ලා සිටින බව එම ලිපියේ සඳහන් ය.
ඉතිරි එන්නත් මිලියන 10 වෙනුවෙන් ණයවර ලිපි විවෘත කළ යුතුයි.
චීන තානාපති කාර්යාලය මෙම කොන්දේසි පොදු තත්ත්වයක් ලෙස ප්‍රකාශ කළත් මෙරටට මීට පෙර ආනයනය කළ සියලු එන්නත් වර්ගවල මිල ගණන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රසිද්ධියට පත් කළේ ය.
ඒ අනුව චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් එන්නත් මාත්‍රාවක් ශ්‍රී ලංකාව මිලදී ගෙන තිබුණේ ඩොලර් 15 කටයි.
කලාපයේ සෙසු රටවල් ඊට වඩා අඩු මිලකට සයිනොෆාර්ම් එන්නත් මිලදී ගෙන ඇතැයි ද මේ වනවිට අනාවරණය වෙමින් ඇත.
බංග්ලාදේශය සයිනොෆාර්ම් මාත්‍රාවක් මිලට ගෙන තිබුණේ ඩොලර් 10 කට බව පසුගිය මාසයේදී අනාවරණය වුණේ, එරට අගමැතිනියගේ විශේෂ සහකාර ශාහ් අලී ෆර්හද් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයකිනි.
ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බංග්ලාදේශය හා සයිනොෆාර්ම් සමූහය අතර මිල ගණන් අතුළත් ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නොමැති බව කියා සිටියේ ය.
මෙම සිදුවීමෙන් අනතුරුව නේපාලයට සයිනොෆාර්ම් එන්නත ලබා දීමට පෙර චීනය අනාවරණය නොකිරීමේ ගිවිසුමකට එළැඹ තිබේ.
කත්මණ්ඩු පොස්ට් අද අනාවරණය කළේ, එරට ප්‍රසම්පාදන නීතියට එය පටහැනි බවයි.
නමුත් නේපාලයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියකින් මෙම අනාවරණය නොකිරීමේ ගිවිසුමට එළැඹීමට පියවර ගෙන ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් විය.
කත්මණ්ඩු පෝස්ට් වාර්තාකර තිබුණේ, බංග්ලාදේශයට මෙන් නේපාලයට ද සයිනොෆාර්ම් මාත්‍රාවක් ඩොලර් 10 කට පමණ මිලකට ලබාදෙන බවයි.
බංග්ලාදේශයට වඩා වැඩි මිලකට ශ්‍රී ලංකාවට සයිනොෆාර්ම් අලෙවි කිරීම නේපාලය සමග අනාවරණය නොකිරීමේ ගිවිසුමකට එළැඹීමට හේතුවන්නට ඇතැයි කත්මන්ඩු පොස්ට් අද වාර්තා කර තිබුණි.